බුදු වදන පටලැවීම පාපයකි

//බුදු වදන පටලැවීම පාපයකි

බුදු වදන පටලැවීම පාපයකි

තමනුත් පටලැවී අනුන්වද නොපටලවනු පිණිස.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ පාළි භාෂාවෙන්. පාළි භාෂාව තමයි එකල මගධයේ මිනිසුන් භාවිතා කළ භාෂාව. එසේ ධර්මය දේශනා කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ ලෝකයා ව්‍යවහාර කළ ප්‍රඥප්ති, නිරුත්ති, සමඤ්ඤා ආදිය පරාමර්ශනය නොකර භාවිතා කළා. භාග්‍යවතුන් වහන්සේ සිදු කළ විශ්මිත ම දෙයක් තමයි, ලෝකයෙන් එතෙර කරවන ධර්මයක් ලෝක ව්‍යවහාරය භාවිතා කරමින් දේශනා කිරීම. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ ජනපද නිරුක්ති ඉක්මවා ගියෙත් නැහැ, නමුත් ඒවා තුළ පදිංචි වී ඒවා පරාමර්ශනය කළෙත් නැහැ. ලෝක ව්‍යවහාරය ම භාවිතා කරමින් ලෝකෝත්තර ධර්මයක් දේශනා කළා.

ඔබ දන්නවා ඇති ඕනෑම ආර්ය භාෂාවක, ඒ කියන්නේ ශිෂ්ඨ සම්පන්න මිනිස්සු භාවිතා කරන භාෂාවක යම් ක්‍රමානුකූල ව්‍යාකරණයක් පවතිනවා. ඒ ව්‍යාකරණ වලට අනුව තමයි, එම භාෂාවේ අර්ථ පැහැදැලි වන විදියට එය භාවිතා කරන්න පුලුවන්‌ වෙන්නේ. එම ව්‍යාකරණය ඉක්මවා ගියොත් හට ගන්නේ මහත් ම අවුලක්.

උදාහරණයක් විදියට සිංහල භාෂාව ගනිමු… සිංහල භාෂාවේ තිබෙනවා එක ම විදියට උච්චාරණය වන නමුත් වෙනත් අර්ථ සහිත වචන. ඒ වගේ ම දළවශයෙන් වෙනස් ව උච්චාරණය වන වෙනස් අර්ථ සහිත වචන..

උදාහරණ කිහිපයක් –

කළ = කරන ලද, කළය (වතුර දාන)
කල = කාලය

පහන = ප්‍රදීපය
පහණ = ගල

සුළු = කුඩා, අල්ප
සුලු = ගතිය

මහන = මහනවා
මහණ = පැවිදි

රන = රත්තරන්
රණ = යුද්ධය

ඉහත වචන සමාන විදියට උච්චාරණය වුනත්, ව්‍යාකරණයට අනුව ඉහත පෙන්වා ඇති පරිදි අකුරු යෙදෙනවා. ඒ අකුරු යෙදෙන විදියට ඒවාගේ අර්ථ වෙනස් වෙනවා. දැන් අපි මේ පද පටලවා යෙදුවොත් සම්පූර්ණයෙන් ම එන්නේ වෙනස් අර්ථයන්..

දැන් පහත දැක්වෙන වචන කිහිපය දෙස බලන්න..

කද = කර තියාගෙන යන දේ
කඳ = ශරීරය

කබ = ඇසෙන් එන කබ
කඹ = කඹය

අඩු = උෟණතාවය
අඬු = අඬුව, සත්ව අවයවය

අග = කෙළවර
අඟ = සත්වයාගේ අඟ

අගල = පොලොවේ කණින ලද අගල
අඟල = දිග මැණීමට භාවිතා කරන අඟල

මේ වචනවල එක අකුරක ශබ්දය පමණයි මදක් වෙනස් විදියට උච්චාරණය වන්නේ. නමුත් ඒ උච්චාරණය වවන ආකාරය අනුව අර්ථය වෙනස් වෙනවා.

දැන් යම් භාෂාවක් භාවිතා කිරීමේ දීත් එසේ ම එක් භාෂාවකින් තවත් භාෂාවකට යමක් පරිවර්ථනය කිරීමේ දීත් ව්‍යාකරණ පිළිබඳව සැළකිල්ලක් නොදක්වා එය සිදු කළහොත් අර්ථ සම්පූර්ණයෙන් ම කණපිට හැහෙනවා..

උදාහරණයක් විදියට ‌මේ වාක්‍ය ගන්න.

ඔහු අැඟිල්ලකින් කබ ඉවත් කළේ ය.

සිංහල භාෂාව හරියට ඉගෙන ගත්තෙ නැති විදේශිකයෙක් මේක ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්න ගියාම සමහර විට එයා මෙහෙම පරිවර්ථනය කරන්න පුලුවන්..

He removed ropes with a finger.

දැන් මේක කියවන කෙනාට යන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් අර්ථයක්. මෙයින් ඔබට පැහැදිලි වෙනවා භාෂාවන් භාවිතා කිරීමේ දී ත් එක් භාෂාවකින් තව භාෂාවකට පරිවර්ථනය කිරීමේ දීත් ඒ් භාෂාවේ ව්‍යාකරණය ගැන, වචන උච්චාරණය වන අාකාරය ගැන, අක්ෂර වින්‍යාසය ගැන නිසි ලෙස දැන ගෙන සිටීම අත්‍යාව්‍ය යි කියා.

මේ නිසා ඕනෑම භාෂාවක දී අපිට අවශ්‍ය අවශ්‍ය විදියට අර්ථ දෙන්න හෝ අවශ්‍ය අවශ්‍ය විදියට ඒවා භාවිතා කරන්න බැහැ. එසේ කළොත් වන්නේ මහත් අවුලක්, විකාර ස්වරූපී දෙයක් නිර්මාණය වීම පමණයි.

භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නට යොදා ගත් එකල මගධයේ භාවිතා වූ පාළි භාෂාවටත් මෙය පොදුයි. මොකද පාළි කියන්නේ එකල මගධයේ මිනිසුන් භාවිතා කළ භාෂාව යි. බුදු රජාණන් වහන්සේ විසින් අලුතින් නිර්මාණය කරන ලද භාෂාවක් නොවෙයි.

මේ නිසා පාළියටත් නිසි ව්‍යාකරණයක් පවතිනවා. මේ ව්‍යාකරණය ඉක්මවා හිතු හිතූ ලෙස අර්ථ දෙන්නට හෝ පරිවර්ථනය කරන්නට හෝ ගියොත් වෙන්නේ, සාමාන්‍ය භාෂාවකට වෙන දේ ම තමයි. හිතන්න ඉංග්‍රීසි දන්නෙ නැති කෙනෙක්, මට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ ඤාණයක් පහළ වුනා කියලා, තමන්ගේ සිතට එන එන විදියට ඉංග්‍රීසියෙන් තිබෙන දෙයක් සිංහලට පරිවර්ථනය කරන්න පටන් ගත්තා කියලා. එතකොට වෙන්නේ සම්පූර්ණයෙන් අර්ථ පැටලුනු සිංහල පරිවර්ථනයක් බිහිවීම යි.

මේ විදියම තමයි පාළි භාෂාව හරියට නොදන්න කෙනෙක් පාළියෙන් තියෙන දෙයක් තමන්ගේ හැගීම් හෝ අහදස් වලට අනුව සිංහලට පරිවර්ථනය කරන්න ගියාම වෙන්නේ.

සිංහල භාෂාවේ වගේ ම පාළි භාෂාවෙත් තිබෙනවා අල්පප්‍රාණ සහ මහාප්‍රාණ අක්ෂර.. ඒවා වචනවල යෙදෙන ආකාර අනුව අර්ථ වෙනස් වෙනවා.

උදාහරණ..

අත්ත = තමා, ආත්මය,
අත්ථ = අර්ථය

ධම්ම = ධර්මය
දම්ම = දමනය

සංග = කෙළෙස්
සංඝ = සංඝයා

අනත්ත = අනාත්මය
අනත්ථ = අනර්ථය

ඉහත වචන උච්චාරණය වන ආකාරයත් අකුරු යෙදෙන ආකාරයත් ඒවාගේ අර්ථත් එකිනෙකට වෙනස්. බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය ඇතුළත් පාළි ත්‍රිපිටකයේ ඒ ඒ තැන මේ වචන නිසි ලෙස යොදා තිබෙනවා. ඒ අනුව ඒවාගේ අර්ථ වෙනස් වෙනවා.

දැන් යම් අයෙක් මේ අල්පප්‍රාණ මහප්‍රාණ භේදය නොසලකා අර්ථ ලබා ගන්නට ගියොත් වෙන්නේ මහත් පැටලිල්ලක්…එයින් බුද්ධ වචනයේ අර්ථය සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා.

තවත් උදාහරණ ගතහොත්..

නිච්ච = නිත්‍ය
ඉච්ඡා = කැමැත්ත

අනිච්ච = අනිත්‍ය
අනිච්ඡා = අකමැත්ත

ඉහත වචන යුගලයන් එක‌ිනෙකට වෙනස් වුවත් මෙහි දැක්වූයේ මෙම වචන ඉතාම බරපතල ලෙස පටලවා ගන්නා නිසා යි.

නිරපේක්ෂකත්වයේ මග කියා ප්‍රචාරය වන ධර්ම දේශනාවල දී පාළි භාෂාවේ ඇති මේ අල්පප්‍රාණ මහප්‍රාණ භේදයත් වචනවල ඇති වෙනස්කමුත් සම්පූර්ණයෙන් වගේ අත්හැර දමා පාළි වචනවලට වැරදි අර්ථ ලබා දෙනවා දකින්නට පුලුවන්. එය සිදුවන්නේ පාළි භාෂාව සහ එහි ව්‍යාකරණය පිලිබඳ නිසි දැනුමක් නැති නිසාවෙනුයි. නමුත් එයින් බුද්ධ වචනයට වන හානිය ඉමහත්. මොකද පාළි භාෂාව හෝ ත්‍රිපිටක ධර්මය හෝ පිළිබඳ නිසි දැනුමක් නැති බොහෝ දෙනෙක් එ් අර්ථ සත්‍ය යි කියා මුලාවට පත් වෙනවා.

ඉහත වචන වැරදි ලෙස භාවිතා කොට තිබෙන ආකාරය ත්‍රිපිටක උදාහරණ සහිතව ඉදිරිපත් කරන්නට ඉදිරියේ දි බලාපොරොත්තු වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!