ශ්‍රී සම්බුද්ධ රාජයන් වහන්සේගේ ශ්‍රාවක සිංහ නාදයයි මේ…..

“කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදී ද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදී ද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදී ද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදී ද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදී ද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.”

“කස්සපය, පඨවී ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. ආපො ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. තේජෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම ගිලෙයි ද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.”

~සද්‌ධම්‌මපතිරූපක සූත්‍රය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් එදා වදාළ දේ සත්‍යක්ම බව පසක් කරමින්, මෝහ අන්ධකාරයෙන් මුලාවට පත් නුණුවන ජනයාගේ සිත් තව තවත් අන්ධකාරයේම ගිල්වමින්, සද්ධම්මපතිරූපක පතුරුවමින් සසුන අතුරුදන් කරන්නාවූ හිස් මෝඩ පුරුෂයන් සිය දහස් ගණනින් අද බිහිව ඇත. ඒ පරම පවිත්‍ර සිංහ තෙල් බඳු සුගත තතාගත ශ්‍රී සද්ධර්මය සද්ධම්මපතිරූපක වලින් වැසී සැඟවී ගොස් සසර දුකට පත් සත්වයාගේ දුක් නිවාලන එකම පැන් පොකුණත් වියලී යෑමට මත්තෙන්, සද්ධර්මපතිරූපක කැනහිල් හඬ බල බිඳින ශ්‍රී සම්බුද්ධ රාජයන් වහන්සේගේ ශ්‍රාවක සිංහ නාදයයි මේ…

lion