සැබෑ බුද්ධ වචනය සොයා ගන්නේ කෙසේ ද?

//සැබෑ බුද්ධ වචනය සොයා ගන්නේ කෙසේ ද?

සැබෑ බුද්ධ වචනය සොයා ගන්නේ කෙසේ ද?

බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් විවිධ මතවාද හැම තැනම වේගයෙන් පැතිර යනවා දකින්න පුලුවන්. ඒ විදියට පැතිරෙන දේවල් අනුගමනය කරලා, ඒවා තුළින් ලබන අද්දැකීම් පදනම් කරගෙන, එ් මතවාද නිවැරදි බුද්ධ වචනය යැයි ප්‍රකාශ කරන්නට ඇතැම් අය පෙළඹී සිටිනවා. මේ නිසා, ඔබට ලැබුණු අවබෝධය කියා ඔබ සිතන අත්දැකීමත්, ඔබ දරණ ඔබේ මතවාදයත් පොඩ්ඩක් පසෙකින් තියල, මේ කියන එක ගැන විවෘතව හිතන්න කියල ආරාධනා කරනවා. මේ ලිපිය දීර්ඝයි. නමුත් සේරම කියවන්න කියා ඉල්ලා සිටිනවා.

ඔබ දන්නවා, බුදු රජාණන් වහන්සේ පහළ වෙන්නටත් කලින්, ඒ වගේම බෝසතාණන් වහන්සේ නිවන සොයාගෙන යන අවධියේ දීත් ඉන්දියාවේ ධ්‍යාන වඩපු අය හිටියා. අෂ්ඨසමාපත්ති දක්වාම ධ්‍යාන වඩපු අය හිටියා. ඒ අය තමන් සියල්ල අවබෝධ කළ අය හැටියට හිතාගෙනත් හිටියා. අනිත් අයටත් කියල දුන්නා. බෝසතාණන් වහන්සේටත් ඉගැන්නුවා. නමුත් ඒ අය වඩපු එක සමාධියක්වත් සම්මා සමාධියක් වුනේ නැහැ. එයට හේතුව තමයි ඒ සමාධි එකක්වත්, සම්මා දිට්ඨිය ඇතුළු ආර්ය මාර්ගයේ අංගවලින් අනුග්‍රහ ලැබුවේ නැති වීම. ‌ මේ නිසා ඒ කාටවත් නිවන් දකින්න වුනේ නැහැ. නමුත් ඒ හැම කෙනෙක් ම සමාධිමය අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් තම තමන්ට සාපේක්ෂව සත්‍ය යි. නමුත් ඒ එකක්වත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දීපු සත්‍ය නෙවෙයි. නිවන නෙවෙයි.

දැන් අපි ඒ ඈත අතීතයෙන් මෙහා, මේ වර්ථමානය සහ මෑත අතීතය ගැන විවෘතව විමසලා බලමු. මෑත අතීතයේ ඉන්දියාවෙ හිටියා ඕෂෝ කියල කෙනෙක්. එයා “අවබෝධය ලැබීම පිණිස මේ දේ කරන්න, මේ දේ කරන්න” කියලා, බුදු දහමත් කලවම් කරලා තවත් භාවනා ක්‍රම කවලම් කරලා, භාවනා විධි රාශියක් හඳුන්වලා දුන්නා. භාවනා ක්‍රම එකසිය ගාණක්. ඒ හැම එකක් ම විමුක්තිය ලැබීම පිණිස හේතු වෙනවා කියල යි එයා හඳුන්වලා දුන්නේ. මේ භාවනා ක්‍රම විශේෂයෙන් විදේශිකයින් අතර අතිශය ජනප්‍රිය වුනා. අදටත් ජනප්‍රියයි.

ඒ ක්‍රම ප්‍රගුණ කරන අයත් සමාධි උපදවා ගන්නවා. තමන් අවබෝධය ලැබුවා කියල ප්‍රකාශ කරනවා. ඒ අවබෝධය ලැබුවා කියන අය කරන ප්‍රකාශ ඇහුවොත්, ඒවා බොහොමයක් ආර්ය ධ්‍යාන ලැබුවා කියල ඇතැම් අය ප්‍රකාශ කරන අත්දැකීම් වලට බොහොම සමාන යි. කය සැහැල්ලු වුනා, අලෝක දැක්කා, කිරි පාට ආලෝකෙකින් කය වැහිල ගියා, කියා ගන්න බැරි තරම් ප්‍රීතියක් ඇතිවුනා. වචනයෙන් ඒ ලබපු අද්දැකීම විස්තර කරන්න බැහැ. ඊට පස්සේ අවබෝධය ලැබුවා. හැමෝම වගේ කියන්නේ ඕක.

ඒ ලබන අත්දැකීම් තම තමන්ට සාපේක්ෂ ව සත්‍ය යි. ඒ කියන්නේ තමන් එහෙම අත්දැකීමක් ලබනවා. එහෙම අද්දැකීමක් ලබනවා කියන එක බොරු නෙවෙයි. ඒක තමයි සමාධි බොහොමයක ස්වභාවය. ඔබ ගිහින් ඕෂෝ පෙන්වලා දුන්න ඒ ක්‍රම (meditation techniques) පුරුදු කළොත්, ඔබට එයා පවසන අද්දැකීම සහ අවබෝධය අත්විඳින්න පුලුවන්. එතකොට ඕෂෝ පෙන්වල දෙන‌ දේට අදාළ වූ අත්දැකීමක් ඔබට ලැබෙනවා. ඉන්පසු ඔබට අවශ්‍ය නම් ඕෂෝ ගෙ දහමට අනුව ඔබ අවබෝධයට පත් වුනා කියලා කල්පනා කරලා ඒ දහම වැළඳගන්නත් පුලුවන්. අත්දැකීම්වලට අනුව මිනිස්සු එක එක දේවල් වැළඳ ගන්නේ එහෙමයි.

වර්තමානයේ බැලුවොත් ඉන්දියාවේ සෘෂිකේශ්, එහෙමත් නැත්නම් උත්තර්ඛන්ධ්, උත්තර් ප්‍රදේශ් වගේ හිමාලෙට කිට්ට‍ු ප්‍රදේශ වල අදටත් අතිශයින් ගැඹුරු සමාධි වඩන, අවබෝධයට පත් වුනා කියලා කියන හින්දු සහ වෙනත් සෘෂිවරු ඉන්නවා. සමහර විට මුලු දවසම සමාධියෙන් ඉන්න පුලුවන් අය ඉන්නවා. ඒ අයත් තමන් අවබෝධය ලැබුවා කියනවා. ඒ දේවල් අන් අයට උගන්වනවා. එ්වත් ඇවිත් අත්දැකල බලන්න කියනවා. ඔබටත් පුලුවන් ඒවා ප්‍රගුණ කරල අත්දැකල බලන්න. එතකොට ඔබටත් ඒ කියන ආකාරයේ අද්දැකීමක් ලැබෙනවා. හරි ප්‍රීතියක් සංසිඳුණු බවක්, අවබෝධය ලැබූ බවක් නිවන් දුටු බවක් හැඟෙනවා. වර්තමානයේ පල්ලි වල පවා මයින්ඩ්ෆුල්නස් ට්‍රේනින් කියලා, භාවනා උගන්වනවා. ඒවගෙනුත් සමාධි ලබා ගන්න අය ඉන්නවා. තම තමන්ට ලැබෙන ඒ අද්දැකීම් සියල්ල ම බුදු දහම ද? ඒ සියල්ල බුදු දහමට අනුකූල ද?

වර්තමානයේ ලංකාවෙත් එක එක්කෙනා එක එක විදියට තම තමන්ගේ අත්දැකීම් පදනම් කරගත්ත සමාධි වැඩීම්, අවබෝධයට පත්වීම් ආදිය ගැන පවසනවා. තමන් අවබෝධයට පත් වුනා කියනවා. අනිත් අයට ඒ ක්‍රම කියල දෙනවා. පිටිදූවෙ හාමුදුරුවො කියනවා උන්වහන්සේ අවබෝධයට පත් වුනා. එන්න මේ ක්‍රමයට වඩන්න. ඔබේ ගුරුවරයා කියනවා, මම අවබෝධයට පත් වුනා, බලන්න මම කියපු විදියට මේ ක්‍රමය වඩපු අය මේ විදියට අවබෝධයට පත් වුනා කියල එයාලගෙ අත්දැකීමුත් කියනවා. එන්න ඔබත් වඩන්න. වඩල බලන්න, කියල අාරාධනත් කරනවා.

පිටිදූවෙ හාමුදුරුවො ගාවට යන කෙනා, ඒ ක්‍රමය වඩලා, ඒ තුළින් අත්දැකීමක් ලබලා කියනවා හරි මේක හරි.. මමත් අද්දැක්කා. ඔබේ ගුරුවරයා ගාවට යන කෙනා, ඒ ක්‍රමය වඩලා කියනවා, හරි මම මේ ක්‍රමය අනුගමනය කළා මට අද්දැකීම ලැබුනා. මේක තමයි හරි. මේ තමයි මාර්ගය කියලා. ඕෂෝ ගාවට යන කෙනා කියනවා, මම මේ ක්‍රමය වැඩුවා, අද්දැකීම ලැබුනා. මේක තමයි හරි.

දැන් කෝක ද හරි? බුද්ධිමත් කෙනෙක්ට සාධාරණව ඒ ගැටලුව මතු වෙනවා. ඒ අද්දැකීම් සේරම ඒ ඒ කෙනාගේ ලෝකයට සාපේක්ෂව, ඒ කෙනාගේ ලෝකය තුළ ඉඳලා කල්පනා කළොත්, ඒ හැම දේම සත්‍ය වගේ‌ පේන්න පුලුවන්. හැබැයි ඒකද බුදු රජාණන් වහන්සේ දේශනා කළ දේ..?

එතකොට මේ විදියට විවිධ අත්දැකීම් ලැබෙන ලෝකෙක, කෙනෙක්ට බුදු රජාණන් වහන්සේ වදාළ දේ නිවැරදිව හොයා ගන්න නම්, එයා කරන්න ඕනෙ තමන්ගේ අත්දැකීම විශ්වාස කරන එක නෙවෙයි. බුදු රජාණන් වහන්සේ ව විශ්වාස කරන එක. එතකොට කවුරු හරි කියන දෙයක් පුරුදු කිරීමෙන් තමන්ට කුමක් හෝ අද්දැකීමක් ලැබුණම ඒක බුදු රජාණන් වහන්සේ වදාරණ දේ ද කියල දැන ගන්න නම් එයා කළ යුත්තේ, බුදු රජාණන් වහන්සේගෙන් ම ඒ ගැන අහන එක. “භාග්‍යවතුන් වහන්ස, මට මෙන්න මේ හාමුදුරුවො කියපු දේ අනුගමනය කළා ම මෙහෙම අත්දැකීමක් ලැබුණා. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාරණ දේ ද?” කියලා..

නමුත් ගැටලුවක් තිබෙනවා, බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාලා. හැබැයි බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ශ්‍රාවකයින්ව අනාථ කරල නෙවෙයි. ධර්ම විනය ශාස්තෘ තනතුරේ තබලයි පිරිනිවන් පෑවේ. එතකොට අද වැඩ ඉන්න ජීවමාන ශාස්තෘන් වහන්සේ තමයි ත්‍රිපිටක ධර්මය. මේ නිසයි, රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඒ ධර්ම විනය රැකගෙන ආවෙ. වචනයක් හෝ වෙනස් නොකර. මොකද ඒ රැකගෙන ආවෙ ශාස්තෘන් වහන්සේවයි..

රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ අත්දැකීම් සමුදායක් සංගායනා කළේ නැහැ. තමන් වහන්සේලාගේ අද්දැකීම් සමුදායක් ග්‍රන්ථාරූඩ කළෙත් නැහැ. අනාගත පරපුරට තමන්ගේ අත්දැකීම් සමුදායක් දායාද කළේත් නැහැ. දායාද කළේ ශාස්තෘන් වහන්සේගේ වචනය යි. අනික මූලික ම‌ දේ තමයි, ඒ විදියට තමන්ගේ අද්දැකීම් සමූහයක් දායාද කිරීිමට අවශ්‍ය වුනෙත් නැහැ. මොකද තමන් ලැබූ අද්දැකීම් සියල්ල ම 100%ක් ම ශාස්තෘන් වහන්සේගේ වචනයට ගැලපුන නිසා. ඒකයි රහත් භාවයේ ස්වභාවය, ඒකයි සැබෑ අවබෝධයේ ස්වභාවය. ඒ අවබෝධය ශාස්තෘන් වහන්සේගේ අවබෝධයට, ශාස්තෘන් වහන්සේගේ වචනවලට 100% ගැලපෙනවා.

මේ නිසා බුද්ධිමත් කෙනෙක්ට, තමන්ගේ අද්දැකීම බුදු රජාණන් වහන්සේ වදාළ දෙයක් ද කියල දැන ගන්න අවශ්‍ය නම්, එයා කරන්නේ තමන්ගේ අද්දැකීම ත්‍රිපිටක බුද්ධවචනයට ගලපන එකයි. ගලපන කොට තමන්ගේ අද්දැකීම බුද්ධවචනයට ගැලපෙන්නේ නැත්නම්, එයා ස්ථීර නිගමනයකට යන්න තරම් නිහතමානී වෙනවා, මම මේ අද්දකින දේ බුදු රජාණන් වහන්සේ වදාළ දේ නෙවෙයි කියලා. ඊට පස්සේ එයා ඒක අත්හරිනවා. එහෙමයි ඒ කෙනා බුදු රජාණන් වහන්සේ වදාළ දේ අනිත් දේවල් වලින් වෙන් කරල තෝරගන්නේ. පිරිනිවන් පාන්න ළංවෙලා බුදු රජාණන් වහන්සේ මහාපදේශ දේශනා කළේ මේ නිස යි. ඒක අතිශයින් වැදගත් නිසයි. (සතර මහාපදේශ කියවා නැති අය අමතක නොකර කියවන්න)

‌මේ නිසා සෘද්ධි තියෙන කෙනෙක් අහසින් ඇවිල්ල මේකයි හරි දේ කියල කිව්වත්, ඒක බුද්ධ වචනය සමඟ ගලපන්න තරම් සෘජු කමක් සහ බුද්ධිමත් කමක් කෙනෙක්ට තිබිය යුතු යි. ඒ වගේ ම එහෙම ගැලපුවාට පස්සේ, තමන්ගේ අද්දැකීම බුද්ධ වචනයට ගැලපෙන්නේ නැත්නම්, තමන්ගේ අද්දැකීමට ගැලපෙන විදියට බුද්ධ වචනය වෙනස් කරන්න යන්නෙ නැතිව, තමන්ගේ අද්දැකීම වැරදියි කියල තේරුම් අරගෙන අතාරින්න තරම් නිහතමානී කමකුත් බුද්ධ ශ්‍රාවකයෙක්ට තිබිය යුතු යි. ඒ විදියටයි එයා විවිධ මතවාද වලදි තමන් ආරක්ෂා වෙලා නිවන් මඟේ ඉදිරියට යන්නේ.. හැම තැනින් ම ලැබෙන අද්දැකීම් සමූහයක් මත නෙවෙයි එයා නිවන් මඟ තීරණය කරන්නේ. ඒ වගේම එයා තමන්ගේ අද්දැකීම සාධාරණීකරණය කිරීම පිණිස, තමන්ට අවශ්‍ය විදියට බුද්ධ වචනයට අර්ථ කථන දෙන්න යන්නේ නැහැ.

ඕෂෝ පෙන්වපු ක්‍රම වලට සමාධි වඩල අවබෝධයට පත් වුනා කියන අයට අපි බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ නැහැ. එයාලා ලබපු සමාධි බුදු රජාණන් වහන්සේ වදාළ සමාධි කියල කියන්නෙත් නැහැ, එයාල ලැබුවා කියන නිවන බුදු රජාණන් වහන්සේ වදාළ නිවන කියල අපි කියන්නේත් නැහැ. ඒකට හේතුව ඒ එකක්වත් බුද්ධ වචනය සමග ගැලපෙන්නෙ නැති නිසා. හින්දු සෘෂිවරුන්ගේ විමුක්තියත් අපි බුදු රජාණන් වහන්සේ වදාළ නිවන කියල කියන්න‌ේ නැහැ. හේතුව බුද්ධවචනයට ඒක ගැලපෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්නේ වෙනම දෙයක්.

මේ නිසා තමන් ගේ අත්දැකීම් හෝ තමන්ගේ ගුරුවරයාගේ අද්දැකීම් බුද්ධ වචනය සමග එකට පටලවගෙන, තමන්ගේ හෝ තමන්ගේ ගුරුවරයාගේ අද්දැකීම් බුදු රජාණන් වහන්සේ වදාළ දෙයක් හැටියට පෙන්වන්න එපා. තමන්ගේ අද්දැකීමට ගැලපෙන විදියට බුද්ධ වචනයට අමුතු අර්ථවිවරණ දෙන්න යන්න එපා. ඒක ලොකු පාපයක්.

තමන්ගේ අත්දැකීම් තමන්ට හොදට ම ශුවර් නම්, ඒකට වෙනම නමක් භාවිතා කරන්න පුලුවන්. තමන් කියල දෙන දේට වෙනම නමක් භාවිතා කරන්න පුලුවන්. අපි ඕෂො ගෙ දහමට බුදු දහම කියන්නේ නැහැ නෙ. හේතුව බුද්ධ වචනයට නොගැලෙපෙන නිසා.

ඒ වගේ වහරක හාමුදුරුවො හෝ අභය හාමුදුරුවො හෝ කියන දේ බුද්ධ වචනයට ගැලපෙන්නේ නැත්නම් එයට බුදු දහම කියල නොකිව යුතුයි. ඒකට වහරක වාදය හෝ වහරක දහම වගේ යම් කිසි වචනයක් භාවිතා කළ හැකියි. එවිට ලෝකය මුලා කළා වෙන්නෙ නැහැ. අනික ඒ කියන දේ හරි නම් ඒකට භාවිතා කරන නම බුදු දහමම යි කියල විය යුතු නැහැ නෙ.

මේ නිසා සමාධිවලටත් වහරක සමාධි අංක 1, 2 ආදි වශයෙන් නම් භාවිතා කළ හැකියි.

එතකොට මිනිස්සුන්ට වෙන් කරල දැන ගන්න පුලුවන්, ත්‍රිපිටක බුද්ධ වචනය තුළ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධ්‍යාන වල ලක්ෂණ මේවයි. වහරක ධ්‍යානවල ලක්ෂණ මේවයි කියලා.

බුදු රජාණන් වහන්සේ වදාළ හතරවෙනි ධ්‍යානයේ මේ වගේ ලක්ෂණ තියෙනවා, වහරක සමාධි අංක 4 දි බඩ යනවා, ඒ විදියට ඒ ලක්ෂණ වෙන් කරල හඳුනගන්න පුලුවන් වෙනවා. එතකොට මිනිස්සු මුලාවට පත් වෙන්නේ නැහැ. වහරක දහමින් නියත වශයෙන් දුකෙන් නිදහස් විමක් වෙනවා කියල මුලාවෙන් හෝ කල්පනා කරනවා නම්, එය වෙනම දර්ශනයක් හැටියට ලෝකයට ඉදිරිපත් කරන්නත් පුලුවන්. නමුත් ඒක නිර්මල බුදු දහම එක්ක පටලවන්න එපා. ඒ දෙක දෙකක් හැටියට තියාගෙන ඉදිරියට යන්න… නිර්මල බුදු දහම එසේ තිබුණාවේ. කැමති කෙනෙක් එය අනුගමනය කළා වේ. වහරක දහම වෙනම ඉදිරිපත් කරන්න. ඒක බුද්ධවචනයට පටලවන්න එපා.

2018-02-19T18:10:07+00:00February 18th, 2018|Categories: ශ්‍රාවක සටහන්|Tags: , |