සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ

//සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ

සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ

සසුනඹර ප‍්‍රඥාලෝකය පතුරුවාලූ තෙදවත් හිරු මඬලාණෝ නම් හිරු ගොත් වංශයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ බුද්ධියේ හිරු කිරණින් ආලෝකය ලද සිව්වනක් පිරිස යුගයෙන් යුගය සම්බුදු සසුන් කෙත සුරැකීමෙහි ලා අති උදාර ශාසනික මෙහෙවරක් ඉටු කළහ.

චිරාත් කාලයක් සුරක්ෂිත කරනු පිණිස බුදු සසුන මුල් බැස ගත්තා වූ ලක්දිව ද සසුන් කෙත වරින් වර සරු වූයේ හාත්පස එළිය විහිදුවමින් සසුනඹරේ පෑයූ දීප්තිමත් ශ‍්‍රාවක රත්නයන් නිසාවෙනි. ධර්මයේ හැසිරීමෙන් ඒ උතුම් බුදු සවුවන් තම ජීවිත ප‍්‍රභාවත් කර ගත්තේ යම් තරමකින් ද ඒ තරමින් ම ධර්මය ද බබුළුවාලූහ. එවන් උතුම් බුද්ධ ශ‍්‍රාවකයින්ට පුණ්‍යානුමෝදනා වන්නට ශ‍්‍රී සද්ධර්මය දැනුදු ලක්දිව ජීවමාන ය.

රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද මෑත භාගයේ ලංකා ධරණීතලයේ පහළ වූ එවන් විශිෂ්ට සංඝපීතෘන් වහන්සේ නමකි.

1897 ජූලි මස 19 වන දින ඉපිද 1997 ජූලි මස 4 වන දින අපවත් වී වදාළ උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කල මෙහෙවර අනගිභවනීය ය. මේ ජූලි මස 4 වන දිනට අපවත් වී වසර 15ක් සම්පූර්ණ වන උන්වහන්සේ පිළිබඳ ගුණානුස්මරණයක් සිදුකිරීමට වඩාත් ම සුදුසු වන්නේ උන්වහන්සේ ළඟින් ම වසර 17ක පමණ කාලයක් වැඩසිට උන්වහන්සේට ඇප උපස්ථාන කළ ශ්‍රී විනයාලංකාරාරාමවාසී පින්වත් කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ය.

පින්වත් ස්වාමීන් වහන්ස, අපට පළමුවෙන් ම උන්වහන්සේගේ කුඩා කාලය ගැන සඳහනක් කළොත්.

උන්වහන්සේගේ කුඩා කාලය ගැන සඳහන් කිරීමේ දී මේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය ගැන සඳහන් නො කර බැහැ. එකල විනයාලංකාර කියන බුරුම ස්වාමීන් වහන්සේ නමක් සිද්ධස්ථාන වන්දනාවට වැඩම කරල රුවන්වැලි සෑ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා නැවත බුරුම රටට වැඩම කිරීමේ බලාපොරොත්තුවෙන් මේ කිට්ටුව තියෙන වැරැල්ලහේන කියන කන්දක නැවතී ඉඳල තියෙනව. ඉතින් මේ ස්වාමීන්වහන්සේට ගම්වාසීන් පැහැදිලා උන්වහන්සේව රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මේ භූමිය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරල තියෙනව. උන්වහන්සේට සිංහලෙන් ධර්ම දේශනා කරන්න හැකියාව තිබිල තියෙනව. ඉතින් සැදැහැවතුන්ට ධර්ම දේශනා කරන අතරෙදි පැවිදිවීමේ ආනිසංසත් දේශනා කරනව. ඉතින් බණ අහන ගිහි පිරිස අතර රේරුකානේ ඉඳල එන දොන් පවුලිස් ගුණවර්ධන කියන මහත්මයත් හිටිය. මේ මහත්තයට හිටිය රූබල් ගුණවර්ධන කියල අවුරුදු 8ක විතර පුංචි පුතෙක්. ඉතින් මේ මහත්මයා බුරුම හාමුදුරුවන්ගෙන් බණ අහල තමන්ගෙ පුංචි පුතාව පැවිදි කරන්න ආශාවෙන් ‘‘පුතේ උඹටත් නරක ද මහණ වුණොත්?” කියල අහල තියෙනව. ඉතින් ඒ පුංචි දරුවත් මහණකම ගැන කිසිවක් නො දැනගෙන ම පැවිදි වෙන්න කැමති වෙලා. පසුව මේ පුංචි දරුවා රේරුකානේ චන්දවිමල කියන නමින් තවත් කුල දරුවන් 27 දෙනෙක් සමඟ 1906 ජනවාරි 8 වෙනිදා මේ ස්ථානයේ දී පැවිදි බිමට ඇතුළත් වුණා. පසු ව නායක ස්වාමීන් වහන්සේ මේ අලූත පැවිදිවුණ ස්වාමීන් වහන්සේලාට නිසි අධ්‍යාපනයක් ලබාදීමට බුරුම රටට යැවීමට තීරණය කරල චන්දවිමල හිමියන් ඇතුළු 23 දෙනෙකු බුරුම රටට පිටත් කර හැරල තියෙනව. බුරුම රටේදි උන්වහන්සේ ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් ත‍්‍රිපිටක ධර්මයන් මනාව ඉගෙන ගෙන නැවත අවුරුදු 10කින් විතර ඒ කියන්නේ අවුරුදු 21 දී පමණ ලංකාවට නැවත වැඩම කරනවා.

ස්වාමීන්වහන්ස, උන්වහන්සේගේ ධාරණ ශක්තිය අතිශය තියුණුයි. ඒ ගැන යමක් සඳහන් කළොත්.

උන්වහන්සේගේ ධාරණ ශක්තිය ගැන ළඟින් ඇසුරු කළොත් මිසක් තේරුම් ගන්න බැහැ. උන්වහන්සේට යමක් එක්වරක් කිය වූ සැණින් මතක තබා ගැනීමේ තියුණු ධාරණ ශක්තියක් තිබුණා. ගාථාවක් එකවරක් කියවූ සැණින් මතකයි. ආයෙත් කියවන්න අවශ්‍ය වුණේ නැහැ උන්වහන්සේට. ඒ වගේ ම උන්වහන්සේ ලංකාවට නැවත වඩින විට අවුරුදු 21ක් පමණ ඇති. අවුරුදු 10 කාලයක් තුළදී බුරුම භාෂාව ජන්ම භාෂාව මෙන් පුරුදුයි. උන්වහන්සේ ජීවිතයේ අවසාන කාලයේ පවා බුරුම ස්වාමීන්වහන්සේලා වැඩිය විට ඉතාමත් චතුර ලෙස බුරුම භාෂාවෙන් උන්වහන්සේලා සමඟ කතාබහ කළා. පාලි භාෂාව ගැන හොඳ ම නිපුණත්වයක් තිබුණ වගේ ම අවුරුදු 21ක් පමණ වන විට ති‍්‍රපිටක ධර්මය බොහෝ දුරට කටපාඩම් කරගෙන තිබුණා. විශේෂයෙන් ම උන්වහන්සේට ඉතා ම සියුම්, ගැඹුරු ධර්ම කාරණා ගැන හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තිබුණා. උන්වහන්සේ මට කියල තියෙනව ‘‘ධම්මානන්ද මම ගාථාවල් කවදාවත් පාඩම් කරළ නෑ. මට යමක් එක් වරක් කිව්වාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප‍්‍රමාණය නම් කොච්චර ද කියල මමවත් දන්නෙ නෑ” කියල. ඒ තරම් තියුණු නුවණක් හා ධාරණ ශක්තියක් උන්වහන්සේට තිබුණා.

‘‘ස්වාමීන්වහන්ස රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් ලංකාවේ බොහෝ ප‍්‍රසිද්ධියට පත්වුණා. උන්වහන්සේ පොත් ලිවීම ගැනත් පොත්පත් ලිවීමෙන් උන්වහන්සේ අපේක්ෂා කළ දෙයත් ගැන සඳහන් කරන්න.”

ඒ කාලෙ සඟරාවක නිර්වාණය ගැන වාදයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වාදයට පිළිතුරු වශයෙන් ලිපි සපයල තියෙනව නායක හාමුදුරුවන්. එතකොට උන්වහන්සේට අවුරුදු 29යි. පසු ව මෙම ලිපි ‘නිර්වාණ විනිශ්චය’ කියල පොතක් වශයෙන් පල වුණා. ඒක තමයි උන්වහන්සේගේ පළවෙනි ග‍්‍රන්ථය. පසු ව උන්වහන්සේ ‘බෞද්ධයාගේ අත්පොත්, විදර්ශනා භාවනා ක‍්‍රමය, චතුරාර්ය සත්‍යය ආදි පොත්පත් මුල්කාලයේ ලිවීම සිදු කළා. සියලූ ම පොත්පත් ගත්විට උන්වහන්සේ පොත් 27ක් පමණ ලියා තිබෙනව. උන්වහන්සේ කියල තියෙනවා ‘‘මම මේ ඉගෙන ගත්තේ අනුන්ට බණ කීමටවත් පොත් ලිවීම පිණිසත් නො වෙයි. මගේ සම්මෝහය දුරු කර ගැනීම පිණිසයි” කියල. පසු ව උන්වහන්සේ ඒ කාලයේ හැටියටත්, පැමිණෙන කරුණු අනුවත් පොත්පත් ලිවීම සිදු කළා. ඒ පොත්පත් ලිවීම සිදු කළේ උන්වහන්සේගේ පුටුවේ හිඳගෙන පොඩි ලෑලි කෑල්ලක් උකුළ මත තබා ගෙනයි. කිසි ම ග‍්‍රන්ථයක පිටු පෙරළන්නෙ නැතිව ත‍්‍රිපිටක ධර්ම කාරණා මතකයෙන් පොත්පත්වල ලියන්න හැකියාව තිබ්බා. නමුත් අවශ්‍යතාවයක් වුණොත් නිරවද්‍යතාවය වෙනුවෙන් ග‍්‍රන්ථ පරිශීලනය කළා. ලිපියක් ලියාගෙන යන විට බාහිර කරුණු නිසා ලිවීම නවත්වල නැවත සති ගණනකින් පටන් ගත්තත් තමන් ලියපු කරුණු මොනව ද කියල පිටු පෙරළ පෙරළ බලල ලිවීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේට තිබුණේ නෑ. ආයාසයකින් තොරව පොත්පත් ලිවීමේ හැකියාවක් උන්වහන්සේට තිබුණා. පැහැදිලි සත්‍යයක් නම් කිසි විටක ලාභ අපේක්ෂාවකින් තොරව, ප‍්‍රසිද්ධිය අපේක්ෂාවකින් තොරව, නිස්සරනධ්‍යාශයෙන් ම යි උන්වහන්සේ මේ සියලූ පොත්පත් ලිවීම සිදු කළේ.

‘‘ස්වාමීන්වහන්ස, රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ ජීවිතයේ අවසාන කාලයත් උන්වහන්සේ මරණයට අභීතව මුහුණ දුන් ආකාරය ගැනත් සඳහන් කරන්න.”

මම උන්වහන්සේට උපස්ථාන කිරීමට සම්බන්ධ වන විට උන්වහන්සේට අවුරුදු 83ක් පමණ. උන්වහන්සේ ඒ වන විටත් වයෝවෘද්ධව කායිකව දුබල තත්වයට පත්වෙලා හිටියෙ. උන්වහන්සේ විටින් විට ප‍්‍රකාශ කරන කරුණු මම සටහන් කරගත්තා. චන්දවිමල මහනාහිමියන් කයින් දුර්වල වන්න වන්න මනසින් ඉතාමත් ශක්තිමත් වුණා. ඒවා උන්වහන්සේගේ අවසාන කාලයේ කරපු ප‍්‍රකාශනවලින් පැහැදිලි වෙනව.

‘‘ධම්මානන්ද, මා රැස් කළ විශාල ධනය පිරිසිදු පැවිදි ජීවිතයයි” කියල මට එක්වරක් ප‍්‍රකාශ කළා.

තවත් වරක් ප‍්‍රකාශ කළා ‘‘ධම්මානන්ද දිගු කලක් ජීවත් වීමේ එක හොඳක් තියෙනවා. මේ ධර්මයේ නො දන්නා දේ තව තවත් අවබෝධ වෙනවා. මම ඔය පොත් ලියන කාලේ තිබූ ධර්මඥණයට වඩා දැන් අපේ ධර්මඥණය බොහොම දියුණුයි. දැන් ඔය පොත් ලියනවා නම් ඒ කරුණු ඔයිට වඩා සවිස්තරව ලියන්න පුළුවන්” කියා.

ඒ ප‍්‍රකාශය කරනකොට උන්වහන්සේට වයස අවුරුදු 89ක් පමණ. ඒ වගේ ම උන්වහන්සේට අවුරුදු 95 දී පමණ එක් දිනක තවත් ප‍්‍රකාශයක් කළා. ‘‘ඊයේ මට දුක්ඛාර්ය සත්‍යය ගැන වැටහුණු කරුණු ලියනවා නම් පිටු 5000ක් පමණ ඇති පොතක් ඕන වෙනවා” කියා.

බොහෝ දෙනා පුදුම වෙනවා උන්වහන්සේගේ සිහි නුවණේ බලවත් බව ගැන. ධර්ම කාරණා ගැඹුරින් මෙනෙහි කිරීමට උන්වහන්සේගේ කායික ශක්තිය දුබල වීම කිසිසේත් ම බලපෑවේ නැහැ. 92වන වියට පා තබන විට උන්වහන්සේගේ දෑස් පෙනෙන්නේ නැතිව ඇවිදීමට නො හැකි තත්වයට පත්වුණා. නමුත් උන්වහන්සේ තමන්ගේ ශීලාදී ප‍්‍රතිපත්ති කඩ නො කොට එලෙස ම පවත්වාගෙන සිටියා. භාවනාවත් නො නවත්වා ම සිදු කළා. උන්වහන්සේගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ මේ භවයේ දී ම පරම නිර්වාණ ධර්මය අවබෝධ කිරීමටයි. ඒ වගේ ම උන්වහන්සේ ඒ අදහසින් ම ක‍්‍රියා කළා. අපවත් වන දිනයේ උන්වහන්සේ අපට ආශිර්වාද කළා ”මේ කරන උපකාරවලට ඔය ඇත්තන්ට නිවන් සම්පත් ලැබේවා!” කියල. ටික වේලාවකින් උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. අමාරුවෙන් හුස්ම ඉහළ පහළ යන විට උන්වහන්සේ අපිට වදාළා ” ඕක තමයි පණ අදිනවා කියන්නේ” කියල. මහනාහිමියන්ගේ තත්වය දුර්වල නිසා අපි නානායක්කාර කියන දොස්තර මහත්තයාව ගෙන්වා උන්වහන්සේට කී විට ”දැන් ඉතින් දොස්තර මහත්තයා ආවට කරන්න දෙයක් නෑ’’ යැයි අමාරුවෙන් වදාළා. පසු ව රාත‍්‍රියේ උන්වහන්සේට සුවය ලැබේවා! කියන කාරුණික සිතින් උන්වහන්සේගේ පපුව පිරිමදිමින් රාත‍්‍රියේ පිරිත් කීමට පටන් ගත්තා. බොජ්ඣංග පිරිත් ආදිය කියා ධම්මචක්කප්පවත්තන සූත‍්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සජ්ඣායනා කරන විට අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ධර්මාලෝකය අද්විතීය ලෙස ලොවට ම පැතිර වූ ඒ ප‍්‍රදීපය නිවී ගියා.

‘‘ස්වාමීන්වහන්ස, රේරුකානේ චන්දවිමල මහනායක හිමියන්ගේ චරිතයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ, උන්වහන්සේගෙන් ගත හැකි ආදර්ශ මොනවා ද?”

ඇත්තට ම බොහෝ දෙනෙක් තුළ සිල්වත්කම් තිබුණාට ගුණවත්කම් අඩුයි. නමුත් උන්වහන්සේ මේ දෙකෙන් ම පරිපූර්ණ වූ උතුමෙක්. උන්වහන්සේ ඉතා ම කාරුණිකයි. අසරණයින්ට පිහිටවීමට නිරතුරු ව කැමැත්තෙන් සිටියා. උන්වහන්සේ ඉදිරියට ඕනෑ ම දුප්පත් අසරණයෙක්ට ඇවිත් කථා කරන්න පුළුවන්. එහෙම ආපු අයට උදව් උපකාර කළ අවස්ථා බොහොම තියෙනව. උන්වහන්සේ දුප්පතාත්, පොහොසතාත්, පාලකයාත් එක සේ පිළිගත්තා. ඒ ඒ පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන විදිහට කතා කළා මිසක් උන්වහන්සේ කිසිවිටක උස්පහත් භේදයක් සලකා විශේෂ සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ වගේ ම උන්වහන්සේ අනුන්ගේ නැති ගුණ කියමින් ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළේ නෑ. නමුත් කෙනෙකුට තියෙන එක ගුණය වුණත් අගය කොට සලකා ක‍්‍රියා කළා. උන්වහන්සේ දන් දෙන අයට අනුශාසනා කළේත් කාට හරි යමක් දෙන විට ඒ තැනැත්තාගේ තිබෙන දුර්ගුණ සිතන්නේ නැතිව තියෙන එක ගුණයක් හෝ සලකා හිත පහදවා ගන්න කියලයි. උන්වහන්සේ මොනතරම් කාර්යබහුල වුණත් ඒ දේ පෙන්නුවෙ නෑ. තමන්ව හමුවී කතා කරන්න කවුරු හරි ආවොත් තමන්ගේ සියලූ වැඩ නවත්වලා ඔහුත් එක්ක කතා කරනවා. සාමාන්‍ය ස්වභාවය තමයි කෙනෙක්ව කාලයක් ඇසුරු කරන විට වැරදි පේන එක වැඩි වෙන එක. නමුත් රේරුකානේ චන්දවිමල හිමියන් ඇසුරු කරන විට ඇතිවෙන්නේ ම උන්වහන්සේ ගැන පැහැදීම. උන්වහන්සේ කොතරම් සම්මාන තනතුරුවලට පාත‍්‍ර වුණත් ඉතාමත් නිහතමානී දිවියක් තමයි ගත කළේ. එකවරක් ‘‘මට මේ ලැබී ඇති උපාධි තනතුරු මහානායක කම් කිසිම දෙයක් ඉල්ලලා ලබා ගත්ත ඒව නො වෙයි. ඒවා ගැන වචනයක් වත් කියල නෑ. ඒව මට ඉබේම ලැබුණු දේවල්. ඒව ලැබෙන්න ඉස්සරත් දැනුත් මගේ තත්වය එකයි” කියල වදාළා. ඉතින් උන්වහන්සේගේ ජීවිතයෙන් ගත හැකි ගුණ සමුදායෙන් බිඳක් තමයි මේ.

~කිරිඔරුවේ ධම්මානන්ද හිමි~

උපුටා ගැනීම – මහාමේඝ පුවත් සඟරාව