අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලක්දිව අප ලද උතුම්ම දායාදය වූ ගෞතම බුදුසසුන නොයෙකුත් බලපෑම් නිසා ක්‍රමයෙන් පිරිහී ගොස් ඉතාමත් අඳුරු සමයකට අවතීර්ණ වී තිබුණි. නොයෙකුත් ඉර්ධි ප්‍රාතිහාර්යය පෑ උතුම් රහතන් වහන්සේලාගෙන් සෝභමාන වූ මෙරට සඟ පරපුරට පසුකාලීනව මුහුණ දීමට සිදු වූයේ ඉතාමත් ශෝචනීය කාල පරිච්ඡේදයකටය. එසේ වීමට නොයෙකුත් විදේශිය ආක්‍රමණ මෙන්ම අභ්‍යන්තර දුර්වලතාද බලපෑවේය. 17 වන සියවස වන විට මෙරට ශාසනික අර්බුදය කොතරම් උග්‍ර වීද යත් උපසම්පදා විනය කර්ම කිරීමට වත් උපසම්පදා භික්ෂූන් වහන්සේලා මෙරට සොයාගත නොහැකි තත්වයක්ව පැවතුණි. ගණින්නාන්සේලා නමින් සිවුරු පොරවාගත් පිරිසක් සංඝ සමාජය නියෝජනය කරමින් එදා පන්සල් ආරාම ආරක්ෂා කරමින් තම දිවි ගත කරන්නට විය. භාග්‍යවතුන් වහන්සේගේ පැණවීම අනුව ගෞතම බුදුසසුනේ සැබෑම පැවිද්දවත් උපසම්පදාවවත් ඔවුන්ට හිමි නැති විය.
ගෞතම බුදු සසුනේ පැවිද්ද ලැබිය හැක්කේ පිරිසිදු උපසම්පදා භික්ෂුවකගෙන් පමණි. උපසම්පදාවද ලැබිය හැක්කේ පිරිසිදු උපසපන් භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ එකතුවෙන් සීමාමාලකයකදී පමණි. එයද විනය කර්මයකි. එසේ නොවන අයුරින් ලබන පැවිද්ද නියමාකාර පැවිද්දක් නොවේ. එසේ නොවන අයුරින් පැවිදි වුවත් ඒ පැවිද්ද පිහිටන්නේ නැත. 17 වන සියවස එකඳු උපසපන් හිමි නමක් මෙරට නොමැති වූ හෙයින් ලක්දිව සම්බුදු සසුන තම දෑස් ඉදිරිපිට පරවීයන අයුරු බලා සිටීමට බොදුනුවන්ට සිදු විය. ගණින්නාන්සේලා සිවුරු පොරවාගෙන අඹුදරුවන්ද සමග පරියාප්ති ශාසනය ආරක්ෂා කරගනිමින් පන්සල් වෙහෙර විහාර ද නඩත්තු කළ මුත් ප්‍රතිපත්ති ශාසනයක් පේන තෙක් මානයක නොවීය.
ගණින්නාන්සේලා.
ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වූ පිරිස ගෞතම බුදු සසුනේ සඟ පරපුර නියෝජනය කළත් ඔවුන්ට සැබෑම පැවිද්ද අහිමිය. ඔවුන් අතරින් බොහෝමයකට අඹු දරුවන් සිටියහ. සමහරෙක් කුඹුරු වැඩ ආදී කර්මාන්තයන්හි නියලුනෝ වූහ. එසේ කුඹුරු කර්මාන්තයන්හි නියැලෙන විට පිරිතක් සඳහා ආරාධනා ලැබුයේ නම් අත පය සෝදා නිවසට ගොස් සිවුරු පොරවා වටාපතද රැඟෙන පරිත්‍රාණ කටයුතු වලට පිටත් වූ බව අතීත ප්‍රවෘත්ති වල සඳහන්ය. ඉන් ලැබෙන පිරිකර ආදිය බොහෝමයක් ප්‍රයෝජන වුණේ පවුලේ අඹු දරුවන් නඩත්තුවටය. එය එවක සමාජයේ සාමාන්‍ය දර්ශනයක් වූ අතර එයට විරුද්ධ වූවෙක්ද නැති තරම් විය. ඔවුන් පදිංචිව සිටි ග්‍රාමයේ නම සඳහන් කොට අගට ‘ගණින්’ නැතහොත් ‘ගණින්නාන්සේ’ යන නාමය භාවිතා කර ඔවුන්ව හැඳන්වූහ. නිදසුනක් ලෙස ‘වෙලඟේ’ ග්‍රාමයේ සිටි ගණින්නාන්සේ හැඳීන්වූයේ ‘වෙලඟේ ගණින්නාන්සේ’ නැතහොත් ‘වෙලඟේ ගණින්’ ලෙසිනි. ‘ ලබුතල’ සිටි ගණින්නාන්සේ හැඳීන්වූයේ ‘ලබුතල ගණින්නාන්සේ’ නැතහොත් ‘ලබුතල ගණින්’ ලෙසිනි. මේ ආකාරයෙන් සැබෑ පැවිද්ද යනු කුමක්දැයි සොයාගත නොහැකි වන පරිදි ගණින්නාන්සේලාගේ සමය මහනුවර යුගයේ ලක්දිව රජයන්නට විය.
නමුත් එකළ සිටි මේ ගණින්නාන්සේලාගෙන් සිදු වූ සේවක් නැත්තේද නොවේ. එයද සුළුපටු දෙයක් නොවේ. අප ශාස්තෘන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ආරක්ෂා කළේ එකල සිටි ගණින්නාන්සේලාය. පරියාප්ති ශාසනය දිවි හිමි කොට ආරක්ෂා කළ ගණින්නාන්සේලා එකළ සිටියහ. ඔවුන්ගේ කැප කිරීම නොවන්නට අද පරියාප්ති ශාසනයද අභාවයට යාමට ඉඩ තිබුණි. එමෙන්ම පන්සල් විහාර බෝධීන් වහන්සේලා ආරක්ෂා කොට දුන්නේද මේ ගණින්නාන්සේලාමය.
පින්බර කුමරෙකුගේ උපත.
මහනුවර තුම්පනේ වැලිවිට නම් ග්‍රාමයේ කුලතුංග මුදලි ට දාව කුලතුංග බණ්ඩා කුමරු මෙලොව එළි දකින්නේ ඔය අතරේය. 1698 උපන් හෙතෙම එරමුදුලියද්දේ උපාසක රාළ ගෙන් සහ මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුතුමා ගෙන් බාල වියේ අකුරු ඉගෙන ගෙන තිබේ. කුලතුංග බණ්ඩා කුමරු කුඩා කළ සිටම මහණ කමට ඇලුම් කළහ. බාල වියේදී මේ කුමරුට තම මෑණියන්ගෙන් කුඩා මැටි වළඳක් ලබාගෙන භික්ෂූන් වහන්සේලා පිඩු සිගා යන ආකාරයෙන් ඇවිද, ඉන්පසු තම මෑණියන් ලවා ඊට ආහාර බෙදා ගෙන, නිවස අසළ වූ ගල්තලාවකට ගොස් අනුභව කිරීමේ පුරුද්දක් තිබූ බව සඳහන් වේ. මෙය භික්ෂුන් වහන්සේ පිඬු සිඟා වඩින සිරිතක් බැවින් මේ පුරුද්ද මේ පින්වත් කුමරාට සසර පුරුද්දෙන්ම ලැබුණක් බව සිතිය හැක.
ක්‍රමයෙන් සොළොස් වියට පා තැබූ කුලතුංග බණ්ඩා කුමරු සූරියගොඩ නම් විහාරයේ දී සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමියන් ළඟ සරණංකර යන නාමයෙන් පැවිද්ද ලබා ගත්තේ ය. කුමන හේතුවක් නිසාදෝ තම ගුරු හිමි නම රාජ උදහසට ලක්ව මරණ දඬුවමට ලක්විය. පැවිදි වූ මුල් කාලයේම ගුරු හිමියන් අහිමි වී සිටි මේ සරණංකර සාමණේරයන්ට පාලි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති ලෙව්කේ රාළහාමි මුණ ගැසුණි. බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩයෙන් පටන්ගෙන ලෙව්කේ රාළහාමිගෙන් පාළි දැනුම ලබාගත්තේය. ඉන් පසුපෝයමළු විහාරයේ වැඩ විසූ, වටපුළුවේ සාමණේර හිමි ගේ ශිෂ්‍ය, පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර හිමි ගෙන් සමාස කාණ්ඩය උගත්තේය. සසරේ කරන ලද පින් ඇති සරණංකර සාමණේරයන් වහන්සේ ඉතා වේගයෙන් ධර්ම ශාස්ත්‍ර ආදිය ඉගෙන ගන්නට විය. මෙසේ ධර්මය ඉගනෙ ගන්නා කාලය අතර තුර සැබෑ බුදු සසුන ගැන නිවැරදි අවබෝධයක් ලැබෙන්නට විය. ලක්දිව සම්බුදු සසුනට ඇති වී තිබෙන ව්‍යසනයෙන් කෙසේ හෝ සසුන බේරා ගැනීමක් ගැන නිතර කල්පනා කරන්න විය.
එකළ තිබුණු විකෘති පැවිදි රටාව ප්‍රතික්ෂේප කළ සරණංකර සාමණේරයන් වහන්සේ සැබෑ බුදු සසුනේ පැවිදි ගුණාංග ප්‍රායෝගිකව පුරුදු කළ හැකි ක්‍රමයන් ගැන නිතර ගවේෂණයක යෙදුණේය. එහි ප්‍රතිඵලයක් ලෙසයි සිල්වත් සමාගම ආරම්භ වූයේ..
සිල්වත් සමාගම
ලක්දිව පුරා ඒ වන විට වැඩ සිටි සිල්වතුන් වහන්සේලා නිතර ඇසුරු කළ අප සාමණේරයන් වහන්සේට සිල්වතුන් වහන්සේලාගේ එකමුතුවෙන් සමාගමයක් ආරම්භ කරන්නට හැකි විය. උඩුගං බලා යන කටයුතත්තක් ලෙසින් එදා ආරම්භ කළ සිල්වත් සමාගමය ඉතා වේගයෙන් ලක්දිව ප්‍රචාරය වී ධර්මකාමි සිල්වතුන් බොහෝ පිරිසක් එකතු කරගත් බලවත් එකමුතුවක් විය. සිටිනාමළුවේ, ඉලිපැන්ගමුවේ, ඊසිපිටියේ, කප්පාගොඩ, අළුත්නුවර, මැදවල, පහන්කුඹුරේ, නාගොල්ලේ, කුඹුල්දිවෙල, වැවගෙදර, අහුගොඩ, මාලගම්මන, දාහිංගමුවේ ආදි සාමණේර හිමිවරු රාශියක් ඊට එක් විය. එයින්ද නොනැවතුන අප සරණංකර සාමණේරයන් වහන්සේ එකළ පැවිද්දන්ට අමතක වී තිබූ පිණ්ඩපාතික වත නැවතත් සමාජගත කරමින් බෞද්ධයන් තුළ ශාසනික ප්‍රබෝධයක් ඇති කරවීමට සමත් විය. එයින් බුදු සසුනට ආල වඩන බොහෝ ගිහි පැවිදි පිරිසක් බිහි විය. තම දිවි කාලය පුරාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන්ම ජීවත් විය.
ලක්දිව බොදුනුවන්ට අමතක වූ සඟරජුන්ගේ මෙහෙවර….
සරණංකර සංඝරාජයාණන් වහන්සේ ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීමට දායක වූ බව බොහෝ දෙනෙක් දනිති. නමුත් උන්වහන්සේ මේ වෙනුවෙන් කළ කැපකිරීම ගැන බොහෝ අයට ඇත්තේ අල්ප දැනුමකි. එනිසාම බොහෝ අයට උන්වහන්සේගේ වටිනාකමක් දැනෙන්නේ නැත. ‘අද ලක්දිව බුදු සසුන බබලන්නේ සරණංකර සංඝරාජයාණන් වහන්සේ නිසා බවයි ‘සරණංකර සංඝරාජ සමය’ ග්‍රන්ථය සම්පාදනය කළ කොටගම වාචිස්සර නා හිමියන්ගේ මතය වන්නේ. සැබවින්ම සරණංකර සංඝරාජයාණන් වහන්සේ නොවන්නට අද ලංකාවේ පිරිසිදු බුදු සසුනක් ඉතුරුවේද කියාවත් සිතීමට නොහැකිය. මහනුවර යුගයේ ලන්දේසී ආක්‍රමණ පැවති සමයේ ගණින්නාන්සේලාගේ යුගය ඒ ආකාරයටම පැවතුනේනම් ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු ලක්දිව සම්බුදු සසුනට කුමකින් කුමක් සිදු වීමට බැරිද? මහා පරිමාණයෙන් අන්‍යාගමීකරණය වෙමින් තිබූ ඉංග්‍රීසී පාලනයේ බෞද්ධ යැයි කීමට කෙනෙකුවත් ඉතුරු වේවිද? සරණංකර සංඝරාජයාණන් වහන්සේ ලක්දිව උපසම්පදාව ස්ථාපිත නොකරන්නට හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි , මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි වැනි වන්දනීය ස්ථීවරයන් වහන්සේලාගේ ඉතිහාසයක් අපට කතා කළ හැකි වේවිද?
සිල්වත් සමාගමය ආරම්භ කළ සරණංකර සාමණේරයන් වහන්සේ නැවත ලක්දිව උපසම්පදාව ස්ථාපිත කිරීමේ උත්තුංග අභිලාශයෙන් තම දිවි පරදුවට තබා වෙහෙසුනහ. මේ සඳහා උන්වහන්සේ කළ කැප කිරීම් අපමණය. එවකට ලක්දිව සිංහල රජෙකුව සිටි ශ්‍රී වීර පාරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් මේ සඳහා කිසිම උපකාරයක් නොවීය. රජු සරණංකර සාමණේරයන් වහන්සේ හා ලෙන්ගතුකමක් දැක්වුවද සසුන ගැන තැකීමක් නැති විනෝදකාමියෙක් විය. තම සුඛාස්වාදය පිණිස කුමාරිකාවන් ගෙන්වා ගැනීමට දකුණු ඉන්දියාවට යැවීමට නොයෙකුත් අවස්ථාවල ලන්දේසි නැව් වල සහය ලබාගත්තද උපසම්පදාව ලක්දිවට ගෙන්වා ගැනීමට සියමයට නැවක් ලබාදෙන මෙන් ලන්දේසින්ට ලිපියක් ලියන්න යැයි කළ සරණංකර සාමණේරයන් වහන්සේගේ ඉල්ලීමට අංශුමාත්‍ර සහයක් මේ අව්‍යක්ත රජුගෙන් නොලැබුණි.
එකළ අප සරණංකර සංඝරාජයාණන් වහන්සේ සොඳුරු සසුන් යුගයක අනාගත බලාපොරොත්තු දල්වාගෙන මහත් ඉවසීමෙන් යුතුව සහා දැඩි කැපවීමකින් කටයුතු කළ බව උන්වහන්සේ විසින් රචිත මේ කවි පෙලෙන් මනාකොට විදහා දක්වයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නිරිඳුන්ට උපසම්පදාව ලක්දිවට ගෙන්වා ගැනීමට ආයාචනා කරමින් රචිත කාව්‍යමය සන්දේශයකි මේ. කව්පෙල දෙස බලන කවරෙකුට නම් සරණංකර සංඝරාජයාණන් වහන්සේ ගැන ප්‍රේමයක් නූපදීවිද?
මහාරාජ, පුබ්බේ කතෝ තේ උළාරං
අනේකඤ්ච පුඤ්ඤං සුසද්ධාය බුද්ධෙ
කරෝතේ ව පුඤ්ඤං අනේකම්පිදානි
කරෝතීච මඤ්ඤේ තතෝ ආයතම්පි
මහරජ, ඔබ විසින් පෙර බුදුන් කෙරේ සැදැහැයෙන් නොයෙක් කුසල් කරන ලදී. දැනුදු ඔබ නොයෙක් පින් කෙරෙත් ම ය. ඉන් මත්තෙහි දු පින් කෙරෙති යි ද හඟිමි.
ඉමේ සාමණේරා යදි භික්ඛුභාවේ
ඨපෙමීති අස්මා යහිං පේසිතේ තේ
අදත්වාන මය්හං බලිං සාමණේරං
නදේමීති යෝ ඛෝ සමුද්දම්හි ඨත්වා
මේ නිසා ඔබ විසින් යම් කලෙක මේ හෙරණුන්(සාමණේරයන්) භික්ෂු භාවයෙහි(උපසම්පදාවෙහි) පිහිටුවමැ’යි යම් තැනක යැවූ කල, යම් අමනුෂ්‍යයෙක් මුහුදෙහි සිට බිල්ලට සාමණේර කෙනකු මට නො දී යන්නට නො දෙමැ යි
නිවාරේති තස්මිං ඉමේ සාමණේරා
හවේ මංව දත්වා බලිං තේ සුගන්ත්වා
සුඛං භික්ඛු භාවං සුපත්වාන සෙට්ඨං
නිරෙගෙන සම්මා මුනින්දානු භාවා
වළක්වාද, එ විට මේ සාමණේරවරු බිලි සඳහා ඒකාන්තයෙන් මා මැ දි ඔවුහු සුව සේ යෙහෙන් උතුම් වූ භික්ෂූ භාවයෙහි පිහිටා බුද්ධානුභාවයෙන් නීරෝග ව යෙහෙන්
පුනාගන්ත්ව ලංකං ජනින්දස්ස රඤ්ඤෝ
තමග්ගම්පි පුඤ්ඤං වරං තේ දදන්තු
තදාදේව සම්මා සමාදාය තම්භෝ
නිරෝගේන ඨත්වා ඉදං සාසනම්පි
යළිත් ලක්දිවට අවුත් ජනප්‍රධාන වූ රජතුමාට ඒ අග්‍ර පුණ්‍යය ප්‍රදානය කෙරෙත් වා, භවත් රජතුමෙනි, එ තැන් පටන් ඒ පින් රැගෙන නිරෝග ව සිට මේ බුදුසස්න ද
ඉදංවාපි ලෝකං සදා පාලයිත්වා
සුඛත්ථාය අග්ගං කරිත්වාන පුඤ්ඤං
සතංචාපි වස්සං තතෝ උත්තතරිම්පි
සුඛං ජීව රාජා රවීවානුභාවෝ
මේ ලෝකයට ද හැමකල්හි පාලනය කොට සැප පිණිස අනෙක් උසස් පින් ද කොට සියවසක් පමණක් නො ව ඉන් මත්තෙහි ද හිරු මෙන් තෙදින් යුතුව සැප සේ ජීවත් වන්න
දැයට හා සමයට හිතැතියකු නොවූ ඒ නරේන්ද්‍රයන් තමාට බිසෝවරුන් ගෙන්වා ගැනීමටත් බල්ලන් ආදී සතුන් ගෙන්වා ගැනීමටත් ලන්දේසීන් සමග තම අදිකාරම්වරුන් පිටත් කර හැරියත් අප සරණංකර සාමණේරයන් වහන්සේගේ මේ ආයාචනයට අබමල් රේණුවක ඇහුම්කන් දීමක් නොකළේය. නොසංසිඳෙන තම ආශාව කෙසේ හෝ මුදුන්පත් කරනා අදහසින් සරණංකර සාමණේරයන් වහන්සේ ඉවසීමෙන් යුතුවම කල් ගෙවූහ.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ට දාව නානායක්කාර වංශික කුමාරියකට උපන් ශ්‍රී විජය රාජසිංහ රජු සරණංකරයන් වහන්සේට ලෙන්ගතු කමක් දැක්වුවද උපසම්පදාව ලක්දිවට ගෙන ඒමට පෙර හෙතෙමේද සුළු කළකින් කළුරිය කළහ. අප සරණංකරයන් වහන්සේගේ උත්තුංග අදහස සම්පූර්ණ කරදීමට හැකි වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ටය. නානායක්කාර වංශික රජෙකු වුවත් බුදු සමයටත් සරණංකරයන් වහන්සේටත් ලෙන්ගතු කමක් දැක්වූ මේ නිරිඳානෝ තම රාජ්‍ය අනුග්‍රහය උපසම්පදාව ලක්දිවට ගෙන ඒමට ලබා දුන්හ.
කෙසේ හෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජු තම අදහසට අනුව කැමති කරවා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. ඒ අනුව හාරගොඩ, ගණේගොඩ, ළිඟවිටියේ, වටවන, හල්පේ සිල්වතුන් වහන්සේලා, දොරණාගම මුහන්දිරම් රාළ, මාතොට රාළ, සහ වටවන උපාසක රාළ යන පිරිසගෙන් සමන්විත දූත පිරිසක් සියමය බලා පිටත් කරවන ලදී. මේ කාලයේ මුහුදු ගමන් යනු ජීවිතාශාව අතහැර කළ යුතු කටයුත්තක් විය. දූත පිරිස ගමන් ගත් නැව විනාශ වූ අතර පිරිසෙන් කිහිප දෙනෙක් දිවි ගලවාගෙන නැවත පැමිණියහ. දෙවන වර දරන ලද උත්සාහයක්ද අසාර්ථක විය. එහෙත් සරණංකර හිමියෝ උත්සාහය අත් හළේ නැත. තුන් වන වර ලන්දේසි ආණ්ඩුකාරයාගේ අනුග්‍රහයෙන් ලබා ගෙන 1750 දී “තාර්කා” නම් නැවෙන් විල්බාගෙදර මුහන්දිරම්, ආයිත්තාලියද්දේ මුහන්දිරම්, පට්ටේපොළ රටේ රාළ, ඇල්ලේපොළ වෙඩික්කාර මොහොට්ටාළ සහ යටිනුවර ඊරියගම නිලමේ ඇතුළු සිංහල දූත පිරිසක් සියමයට යැවීමට උන් වහන්සේට හැකි විය.
මේ දූත පිරිසගේ ආරාධනයෙන් සියම් රජුගේ පූර්ණ අනුග්‍රහ ඇතිව ප්‍රවර උපාලි නාහිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ විසි නමක් සියමයෙන් මෙරටට වැඩම කරන ලද අතර 1753 ඇසළ මස මහනුවර මල්වතු මහා විහාරයේ මෙකල බද්ධ සීමා මාලකය පිහිටි ස්ථානයේ ඉදිකළ මණ්ඩපයකදී උන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. එහිදී සරණංකර සාමණේර හිමි ප්‍රවර උපාලි නාහිමිගේ උපාධ්‍යායත්වයෙන් හා බ්‍රහ්මජෝති, මහාපුඤ්ඤ යන හිමිවරුන්ගේ කර්‍මාචාර්යත්වයෙන් උපසම්පදාව ලබා ගත්තේය.
උපසම්පදා වෙන් පසුව ශ්‍රී ලංකාවේ සංඝරාජ යන සම්මානයෙන් පුද ලැබූ සරණංකර හිමියන් කළ උදාරතම සේවය නැවත ලංකාවේ උපසම්පදා භික්ෂු සාසනය ඇතිකිරීමය. මේ හැරෙන්නට පාලි භාෂාව සහ ධර්ම අධ්‍යයනය සඳහා සංඝයා තුල මහත් ඕනෑකමක් උනන්දුවක් ඇති කිරීමට උන්වහන්සේ සමත් විය. උන් වහන්සේ කල ලේඛන අතර මුනි ගුණ අලංකාරය , සාරාර්ථ සංග්‍රහය, අභිසම්බෝධි අලංකාරය, මධුරාර්ථ ප්‍රකාෂනිය, රූප මාලා වැනි ඉතා වටිනා කෘති උන්වහන්සේගේ අසාමාන්‍ය ධර්ම ඥානය පිළිඹිමු කරයි.
ඉන් ඇරඹි නව ශාසනික ප්‍රබෝධය ලක්දිව පුරා පැතිර යමින් සුපේශල ශික්ෂාකාමී සැබෑ ශ්‍රාවක පුතණුවන් බිහිකරවීමට සමත් විය. ලක්දිව බුදු සසුනට නව ජීවයක් ලැබුණාක් මෙන් විය. එතැන් පටන් මේ මොහොත දක්වා උතුම් ශ්‍රාවක පරම්පරාව අඛණ්ඩව පැවත එමින් පවතී. මේ සියලු භාග්‍යයන් බෞද්ධයන්ට උරුම කර දීමේ සැබෑම පුරෝගාමියා වූයේ අපගේ අසරණ සරණ සරණංකර සංඝරාජ නා හිමිපාණන් වහන්සේ බවට කිසිම වාදයක් නැත. අද බොහෝ බෞද්ධයින්ට අප සඟරජුන්ව අමතකය. සඟරජුන් ගැන නොහඳුනන පැවිද්දන්ද අද සිටී. මෙය ඉතාමත් ශෝචනීය තත්වයකි. සඟරජුන් ගැන ගිහි පැවිදි සැම දැනුවත් කිරීම කාලෝචිත වූ සත්පුරුෂ ක්‍රියාවක් වන්නේම ය.
මෙසේ අප ලක බුදු සසුනට නැවත ජීවන හුස්ම පිඹ පනගත් මහා සංඝරාජ අතිපුජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමින් වහන්සේ වයස 81 වියේදී 1778 ජුලි මස 18 වැනිදා අවසන් හුස්ම හෙලීය. අප කරන සැම පිනක්ම මේ මහා වීරයාණන් වහන්සේට අනුමෝදන් වේවා!
( ලක්දිව අප සැමට මහත් ආලෝකයක් බඳු වූ අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ ගැන වැඩිදුර ඉගෙන ගැනීමට කැමත්තවුන් විසින් කොටගම වාචිස්සර ස්වාමීන්ද්‍රයන් වහනසේ විසින් රචිත ‘සරණංකර සංඝරාජ සමය’ ග්‍රන්ථය කියවත්වා! උතුම් සත්පුරුෂ ගුණයන් උපදවා ගනිත්වා!)
අන්තර්ජාලය ඇසුරෙන් හා කොටගම වාචිස්සර හිමි රචිත ‘සරණංකර සංඝරාජ සමය’ ඇසරෙනි.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.