සම්බුදු වදන් සුරක්ෂිත කළ පළමු ධර්ම සංගායනාව

/, සදහම් ලිපි/සම්බුදු වදන් සුරක්ෂිත කළ පළමු ධර්ම සංගායනාව

සම්බුදු වදන් සුරක්ෂිත කළ පළමු ධර්ම සංගායනාව

අද අප සිත පහදවා ගන්නේ උතුම් මහරහතන් වහන්සේලා විසින් ධර්ම සංගායනා පවත්වා ශාස්තෘන් වහන්සේගේ උතුම් සම්බුදු වදන් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස අනාගතයට දායාද කළ ආකාරය පිළිබඳවයි.

(මාංස චක්ඛු) මසැස, (දිබ්බ චක්ඛු) දිවැස, (පඤ්ඤා චක්ඛු) පැණැස, (බුද්ධ චක්ඛු) බුදු ඇස, (සමන්ත චක්ඛු) සම තැස යන පංච නේත්‍රයෙන් යුක්ත වූ අසම ගතිගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස කළයුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයෙහි අකාලයෙහි පිපී ගිය සල් මලින් පිරුණු රම්‍ය වූ සල් රුක් දෙක සෙවණේ සැතැපී වදාළේ ය. ඒ වෙසක් පුන් පොහෝ දවසෙ යි. ලෝකය එළිය කළ අසිරිමත් ප්‍රඥා ප්‍රදීපය වූ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

ඒ අවස්ථාවෙහි රැස් වූ භික්ෂුන්ගේ ගණන සංඛ්‍යාවකින් ගණන් කරන්නට නොහැකි යි. එහෙයින් ම ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, වෛශ්‍යවරු, ශුද්‍රයන් මෙන් ම එදා රැස් වූ දෙවියන් ද ගණන් කරන්නට නොහැකි තරම් ය. එදා කුසිනාරාවෙහි රැස් වූ භික්ෂූන් අතර ප්‍රධාන භික්ෂුන් ගණන සත් ලක්ෂයක් විය. ඒ සංඝයා අතර අප භාග්‍යවතුන් වහන්සේගෙන් මහාධුතාංගධාරී ශ්‍රාවක භික්ෂුව ලෙස අග්‍ර ඨානාන්තර ලැබූ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ ස්ථවිරයන් වහන්සේ ලෙස වැඩ සිටි සේක. අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, ආදාහන කෘත්‍යයෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතුන් වහන්සේලාටත් සිදුකළ යුතු වූ සියලු වත් පිළිවෙත් කරවූහ. බුදුරදුන් පිරිනිවන්පාන්නට ප්‍රථම ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්නට කැමැති විය.

දසබලධාරි ලෝකනාථයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් හත් දවසක් යද්දී මහලු වයසේ පැවිදිව උඩඟු සිතින් සිටි සුභද්‍ර නම් භික්ෂුව අභද්‍ර වචනයක් කී ය. තථාගත පරිනිර්වාණයෙන් මහත් සංවේගයට පත්ව හඬමින් වැළපෙමින් සිටි සාමාන්‍ය භික්ෂූන් අමතා “ඇවැත්නි, ඒකට මක් වෙනවා ද? දැන් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වුණා නොවැ. කලින් මේක කැපයි. මේක අකැපයි කියා කීම නිසා අප අපහසුතාවයට පත්වුණා. දැන් අපට රිසි පරිද්දෙන් කටයුතු කරන්නට පුළුවන්” කියා පවසන ලද මේ අපවිත්‍ර වචනය සිහිකොට, අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ පෙර වූ මහා පාංශුකුල සිවුර තමන්ට පොරවන්නට දුන් ආකාරයත් සිහිකොට එහෙයින් ම භාග්‍යවතුන් වහන්සේ මෙන් ම මහාකස්සපයන් වහන්සේගේ ධ්‍යාන අභිඤ්ඤා සමාපත්තිවලට ඒ අයුරින් ම සමවදින බවට සමාන කොට වදාළ ප්‍රකාශයත් සිහිකොට, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන්ට කරන ලද මහා අනුග්‍රහය ද සිහිකොට, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වනු පිණිස, ඔය අයුරින් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකිනු පිණිස ධර්ම සංගායනා කරන්නට සුත්ත, ගෙය්‍ය,වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩ සිටින උතුම් අර්හත්වය මෙන් ම සතර පටිසම්භිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ, මහා ක්ෂීණාශ්‍රව උතුම් රහතන් වහන්සේලා පන්සියනමට එක නමක් අඩු කොට තෝරා ගත්තේ ය. ඒ එක නම අඩුකර ගත්තේ අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තව ම අර්හත්වයට නො පත්ව සිටි නිසා උන්වහන්සේ වෙනුවෙනි.

එවිට අප බුදුරදුන් ගේ ධර්මය සම්පූර්ණයෙන් ම මතකයේ රඳවාගෙන සිටි ආනන්ද ස්ථවිරයන් වහන්සේ නැතිව ධර්ම සංගායනාව කරන්නට නො හැකි බව ඒ මහා ක්ෂීණාශ්‍රව භික්ෂූන් වහන්සේලා තේරුම් ගන්නට ඇත. එනිසා ආනන්දයන් වහන්සේ තවම රහත් නොවී සිටිය දී පවා එම ධර්ම සංගායනාවට ආනන්දයන් වහන්සේ සහභාගි වීම ඉල්ලා සිටිමින් උන්වහන්සේ ද සංගායනාව පිණිස තෝරා ගත්තේ ය.

කුසිනාරා නුවර දී සත් දවසක් ඉතා යහපත් පුණ්‍යෙීත්සවයකුයි සත් දවසක ධාතු පූජා මහෝත්සවයකුයි පවත්වා ඒ වෙනුවෙන් අඩ මසක කාලයක් ගත කළ සියලු ලෝකය කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ අපගේ මහා කස්සප මහරතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා “ අප රජගහ නුවර වස් සමාදන් වීමට යා යුතුයි. එහි දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්නට ඕනෑ. එනිසාවෙන් ඒ කාලය තුළ ධර්මය සංගායනා කරන රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගි නො වන අනෙක් භික්ෂූන් වහන්සේලා එහි වස් වැසීමෙන් වැළකී සිටිය යුතුයි, කියා කුසිනාරා නුවරදී තීරණයකට එළඹෙන ලදී.

ඒ රහතන් වහන්සේලා කුසිනාරාවේ සිට රජගහ නුවර බලා දඹදිව චාරිකාවෙහි පිටත් වුණි. එසේ වඩින අතරමග දී ඒ ඒ ගම් නගරවල මහජනයා භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය අසා ශෝකාකූලව හඬන්ට වැළපෙන්ට පටන් ගත්හ. ඔවුන් ද අස්වස්වමින් උන්වහන්සේලා චාරිකාව සම්පූර්ණ කළහ. දෙව් මිනිසුන්ගේ කුසල් පක්ෂය මතු කළ උතුම් බුදු සසුන පිහිටුවීමෙහි යහපත දකින ඒ රහතන් වහන්සේලා ඇසළ මස පුරහඳ වැඩෙන කාලයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙන් මනා පහසුකම් ඇති රජගහ නුවරට වැඩම කළහ. ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී අප සම්බුදුරජාණන් වහන්සේගේ අදහස් පිළිබඳව ඉතා දක්ෂ වැටහීම් ඇති, නිකෙලෙස් භාවයෙන් ස්ථිරව පිහිටි ගුණ ඇති, සංගායනාවට තෝරාගත් ඒ මහරහතන් වහන්සේලා රජගහ නුවර ම වස් සමාදන් වුණි.

අජාසත් මහරජුන් මුණ ගැසුණ ඒ මහරහතන් වහන්සේලා සංගායනාවෙහි අවශ්‍යතාවය ගැන කරුණු පැවසීය. වස් වැසූ මුල් මාසයෙහි රජගහ නුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඩී බිඳී තිබූ තැන් රාජානුග්‍රහයෙන් අලුත්වැඩියා කරවී ය. ඒ දහඅටක් වූ මහා විහාරයන් පිළිසකර කළාට පසු රහතන් වහන්සේලා අජාසත් රජුට මෙසේ වදාළ සේක. “මහරජතුªමනි, අප දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්මය සංගායනා කරන්නෙමු”

“ස්වාමිනි, ඒ උතුම් සංගායනාව වෙනුවෙන් මා කළ යුත්තේ කුමක් ද?”

”මහරජ, ධර්ම සංගායනාව කරන භික්ෂූන්ට අසුන් ගැනීමට වේභාර පර්වත බෑවුමෙහි ඇති සප්තපර්ණී නම් ගුහාව ඉදිරිපිට මණ්ඩපය කළ මැනව”.

අජාසත් රජු ඒ වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් ඉක්මනින් කරවා ඒ මණ්ඩප හැම ආකාරයෙන් ම අලංකාරව සරසවා එහි පන්සීයයක් භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩ හිඳින්නට හැකි පරිදි අනර්ඝ ඇතිරිලි ඇතිරවී ය. ඒ මණ්ඩපයෙහි උතුරු දිසාවට මුහුණලා දකුණු පැත්තට වන්නට මහානීය වූ ථේරාසනයක් මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉතා යහපත් ලෙස පනවා තිබුණි. ඒ අලංකාර මණ්ඩපය මැද නැගෙනහිර පැත්තට මුහුණලා අපගේ සුගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ හිඳින්නට යෝග්‍ය පරිදි උන්වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පණවලා තිබුණි.

ඉන්පසු අජාසත් රජු භික්ෂූන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනි, මා විසින් කළයුතු දෙය සම්පූර්ණ කරන ලද්දේ ය.” කියා දැනුම් දුන්නේ ය. ඉන්පසු ඒ රහතන් වහන්සේලා සිහි කරන්නවුන්ගේ හදවත තුළ පී‍්‍රති ප්‍රමෝදයෙන් යුතු ආනන්දය උපදවන අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.

”ඇවැත් ආනන්දයෙනි, සංගායනාව පිණිස සංඝයා රැස් වෙන්නේ හෙට ය. දහම් මඟ හික්මෙන, සේඛ භික්ෂුවක් වශයෙන් ඔබ විසින් තවත් ප්‍රගුණ කළයුතු දේ තිබෙනවා. එනිසා සේඛ භික්ෂුවක් වශයෙන් එයට පැමිණීම නො ගැලපෙයි. එහෙයින් ආනන්දයෙනි, අරහත්වය පිණිස අප්‍රමාදී වෙන්න” යැයි වදාළහ.

මේ ආකාරයෙන් රහතන් වහන්සේලා විසින් උත්සාහවත් කරන ලදුව අපගේ ආනන්දයන් වහන්සේ වීරිය කොට සයනයෙහි සැතපෙන්ට වාඩි වී දෙපා ඔසොවා තවමත් හාන්සි නොවී සිටිය දී ම සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත් වූ සේක.

දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන් පොහොය පසු වී දෙවෙනි දවසෙහි රාජානුග්‍රහයෙන් කරන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි රහතන් වහන්සේලා රැස් වුණි.

ඒ රහතන් වහන්සේලා අපගේ ආනන්ද තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැළපෙන අයුරින් ආසනයක් වෙන්කොට තබා තමන් වහන්සේලා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට එහි වැඩ සිටි සේක. ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට නො වැඩියේ ය.

“මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන් ද?” එක් තෙරුන් වහන්සේ නමක් විමසූහ.

”මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය.” පිළිතුරු ලැබුණි.

” අපගේ ආනන්දයෝ කොහි ගියා ද? කියා අසනවාත් සමඟ ම, ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදී සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි පහළ වුණි. ඇතැම් ආචාර්යයන් වහන්සේලා පවසන්නේ ආනන්දයන් වහන්සේ අහස් මාර්ගයෙන් වැඩමකොට තමන්ගේ ආසනයෙහි වැඩ සිටි බව ය.

එක් එක් තනතුරු ලැබූ සියලු රහතන් වහන්සේලා අතරින් විනයධර භික්ෂූන්ගෙන් අගතනතුරු ලැබූ උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසා ද, ආනන්ද මහරහතන් වහන්සේ අනෙකුත් සියලු ධර්මයන් උදෙසා ද, ප්‍රධානත්වයට පත්කර ගත්හ. එම සංගායනාව ආරම්භයේ දී අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදත්, ඒවායේ නිදාන කථාව ආදියත් විමසනු පිණිස ඒ ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුර තමන් වහන්සේ විසින් තමන්ව ම පත්කරගත් සේක. එහිදී උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම පිළිබඳව පහදා දුන් සේක. අපගේ මහාකස්සපයන් වහන්සේ විනය පිළිබඳව විස්තර විචාළේ එහි පනවන ලද ථේරාසනයේ වැඩ හිඳගෙන ය. එවිට උපාලි මහරහතන් වහන්සේ ඒ අසන ලද කරුණුවලට පිළිතුරු ලබා දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා වදාළ ධර්මාසනයේ වැඩ හිඳගෙන ය.

තථාගතයන් වහන්සේ විසින් පනවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ විසින් ක්‍රමයෙන් ඒ සියලු විනය කරුණු විසඳූ සේක. ඉන්පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශ්‍යයින් දක්ෂ වූ සියලුදෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළහ. අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බහුශ්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, දරා ගැනීමෙහි හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත්, අග්‍ර යැයි අග තනතුරු ලද ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේගෙන් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ධර්ම දේශනාත්, ඒවායේ නිධාන කතාත් විචාරනු පිණිස මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ විචාරක භික්ෂු තනතුරට තමන් ම පත්කරවාගෙන අපගේ ආනන්දයන් වහන්සේගෙන් ධර්මය විමසා සිටියහ.

උපාලි මහරහතන් වහන්සේ විනය විස්තර කළ පරිද්දෙන් ආනන්දයන් වහන්සේත් පිළිතුරු දීම පිණිස තමන්ව ම පත්කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවන ලද ධර්මාසනයෙහි වැඩහිඳගෙන ඒ සියලු ධර්මයන් ගැන විස්තර කළහ. වේදේහමුනි වූ ආනන්දයන් වහන්සේ විසින් ක්‍රමයෙන් විසඳන ලද ඒ සියලු ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳව අතිශයින් ම දක්ෂ වූ එහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ධර්මය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළහ. මේ ආකාරයෙන් සියලු ලෝකය කෙරෙහි හිතසුව කැමැති රහතන් වහන්සේලා විසින් සත් මාසයකින් සියලු ලෝ වැසියාගේ හිතසුව පිණිස ඒ ප්‍රථම ධර්ම සංගායනාව නිමාවට පත් කළ සේක.

ධර්ම විනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කිරීම. –
***************************************************************
මෙසේ ධර්ම විනය සුරක්ෂිත කිරීම පිණිස පළමු ධර්ම සංගායනාව සිදුකළ මහා කාශ්‍යප මහරහතන් ප්‍රමුඛ උතුම් මහ රහතන් වහන්සේලා එම ධර්ම විනය කටපාඩමින් දරාගෙන අනාගතයට දායාද කරලීම පිණිස මැනවින් කටයුතු සම්පාදනය කළේ මෙලෙසිනි.

විනය පිටකය කටපාඩමින් දරා ගනිමින් අනාගතය සුරක්ෂිත කරලීම උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසට ද, භාග්‍යවතුන් වහන්සේ වදාළ දීර්ඝ සූත්‍ර දේශනා ඇතුළත් දීඝ නිකාය, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහරතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට ද,

මජ්ක්‍ධිම නිකාය ධාරණය කර ගැනීමට අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරට ද,

දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ප්‍රමුඛව සිසු පරපුරට අංගුත්තර නිකාය වනපොත් කිරීමට ද පවරා දෙන ලදී. සදහම් ග්‍රන්ථ පහළොවකින් සමන්විත සද්ධර්ම මංජුසාවක් බඳු ඛුද්දක නිකාය සියලු දෙනා පොදුවේ කටපාඩමින් දරාගත් අතර, එමගින් ජාතක, භාණක, ධම්මපද ආදී භාණක පරම්පරාවක් බිහි විය.

අභිධර්ම පිටකය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේදී ම ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් විසින් දරා කටපාඬමින් දරා ගන්නා ලදී. අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ විසින් මෙසේ සංගායනා කොට ධර්මය ගොනු කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය අවුරුදු පන්දහසක් පවත්වාලන්නට සමර්ථ ආකාරයට ය. ඒ ප්‍රථම ධර්ම සංගායනාව සංගායනා කොට අවසන් වෙනවාත් සමගම සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව මහත් පී‍්‍රතියක් හට ගත්තාක් මෙන් සය වරක් කම්පාවට පත් වුණි. ඒ අවස්ථාවෙහි ලෝකයෙහි නොයෙක් ආකාරයෙන් නොයෙක් ආශ්චර්යවත් දේ සිදුවුණි. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ පන්සීයයක් ස්ථවිර භික්ෂූන් වහන්සේලා එක්ව මේ සංගායනාව කොට වදාළ නිසාවෙන් එම සංගායනාවට ස්ථවිර පරම්පරාව යනුවෙන් ද හඳුන්වනු ලැබුවේ ය.

මෙසේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ලෝක සත්ත්වයාට බොහෝ හිත සුව පිණිස කටයුතු කළ ඒ සියලුම රහතන් වහන්සේලා තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක. මොහඳුර නසා අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩසිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා ලෝක සත්ත්වයාගේ අවිදු අඳුර නසන මහා ප්‍රදීපයන් බඳු ව වැඩසිට මරණය නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක.

ඒ නිසාවෙන් නුවණැති පුද්ගලයා එම කාරණය තේරුම් ගෙන තමන් නො මැරී ජීවත්ව සිටීම ගැන ඇති උඩඟුකම දුරුකර ගත යුත්තේ ය. තෙරුවන කෙරෙහි සිත පහදවාගත යුත්තේ ය.

(මහාවංශයේ තුන්වෙනි පරිච්ඡේදය සහ චුල්ලවග්ගපාලි සංගීතික්ඛන්ධකය ඇසුරිනි)

විශේෂ පුන්‍යයානුමෝදනාව –

සදහම් ලිපිය සම්පාදිත අතිපූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

තෙරුවන් සරණයි!