“මුදල් පරිහරණය භික්ෂූන්ට කැපයි” පවසමින් සම්බුදු වචනය විකෘති කරනා වලස්මුල්ලේ අභය හිමියන්……………

ගුණ නැණ බලයෙන් යුතු බෞද්ධ ජනතාවක් පවා නොවෙසෙන, භික්ෂු විනය තබා පන්සිල්වත් නොදන්නා වර්තමාන සංකීර්ණ සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට බසයක වැඩම කිරීමේදී දානය වැළඳීමේදී මුදල් පරිහරණය පිළිබඳව ප්‍රායෝගික අසීරුතාවයන් මතුවන බවට විවාදයක් නැත. එහෙත් ආරණ්‍යවාසී, අසපුවාසී හෝ ග්‍රාමවාසී භේදයක් නොමැතිව තථාගතයන් වහන්සේ පනවා වදාළ සික පදයන් දිවි හිමියෙන් සුරකින උතුම් ස්වාමීන් වහන්සේලා තවමත් වැඩ වසති.
පින්වත් ගිහි උපාසක භවතුන් විසින් බුද්ධිමත්ව එම ගැටලුවට විසඳුම් සපයාද ඇත. උන් වහන්සේලාට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම පිණිස ගමනාගමන මණ්ඩලය මුද්‍රණය කරනු ලබන ටිකට්පත් ගිහි පින්වතුන් විසින් පූජා කරන අවස්ථා බොහෝ ඇත. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දකින ඇතැම් රියදුරු-කොන්දොස්තර මහතුන් හෝ මඟීන් උන් වහන්සේලා මුදල් පරිහරණය නොකරණ බව අවබෝධ කරගත් වහාම නොමිලයේම අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වන බව අත්දැකීමෙන්ම අපි දන්නෙමු.

අනෙකුත් වුවමනාවක් වේ නම් එය පවා මුදල් පරිහරණයකින් තොරව ගිහියන් මාර්ගයෙන් සිදුකර ගැනීමේ අවකාශය තවමත් භික්ෂූන් වහන්සේලාහට ” පතිරූප දේශයක් වූ” අපේ සිංහල බෞද්ධ සමාජ තුළ නොඅඩුව ඇත. වෛද්‍යවරයෙකු චැනල් කිරීමේදී, ෆාමසියකින් බෙහෙත් මිලට ගැනීමකදී, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් පත් උපකරණ මිලට ගැනීමේදී ගිහියන්ගේ උපකාරය නොඅඩුව ලබා ගත හැක.

ශ්‍රද්ධා සම්පන්න ගිහි දායකයින් විසින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සතර සංග්‍රහ වස්තූන් නොඅඩුව පූජා කරන කල්හි භික්ෂුවකට මුදල්වල අවශ්‍යතාවයක් ඇතිවන්නේ කෙසේද ? ඈත නියම් ගම්වල අතිශය දිළිඳු පන්සල්වලට කිසිදා නොලැබෙන එවැන් සංග්‍රහ වස්තූන් පමණක් නොව සුඛෝපභෝගී වාහන,විදෙස් සංචාර පවා නොඅඩුව ලැබෙන මෙවන් හිස් පුරුෂයන් ඒවා උපරිමයෙන් පරිභෝජණය කරන අතරතුර තව දුරටත් උතුම් සිල්පද ප්‍රතික්ෂේප කරමින් විනය විරෝධීව හැසිරෙන්නේ කුමන අරමුණකින්දැයි ඉතා පැහැදිළිය. මේ හිත් පිත් නැති අමණයින් ගරහන්නේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුවම අවස්ථානුකූලව පැනැවූ ඒ උතුම් විනයටයි.

නිරය අපේක්ෂක අභය භික්ෂුව ඇතුලු නඩය යනු කවරෙකුවත් නොව විනය විරෝධීව හැසිරුණු ඡබ්බග්ගිය භික්ෂූන්ගේ වර්තමාන නියෝජණයයි. අභද්‍ර වචන කියූ සුභද්‍ර භික්ෂුවගේ ජීවමාන පරපුරයි. මාරාවේෂයෙන් හැසිරුණු දේවදත්ත-කෝකාලික සුසංයෝගයේ ශේෂ වූ සජීවී පොසිලයි.

සැබෑ වුවමනාවක් ඇත්නම් ඕනෑම ගැටලුවකට ගැළපෙන විසඳුමක් සොයා ගත හැක.
එහෙත් ව්‍යාජ ඡබ්බග්ගිය හොර රහත් මුදලාලිලාහට සැබෑ වුවමනාව ඇත්තේ ධර්ම විනය තුළ හික්මීම හා තමන්ට සතර සංග්‍රහ වස්තූන්ගෙන් පුද සත්කාර කරන ගිහි දායක පිරිසෙහි දෙලොව සැප සැළසීම නොව තම පාපකාරී ව්‍යාපාරයන් තුළින් අපමණ වස්තුවක් රැස් කර ගැනීමටයි. 
මාරාවේශ වූ මේ අධර්මිෂ්ට භික්ෂූන් තම මිසදිටු මාර කෙමණට හසු වූ දෙස් විදෙස්හි දිවි ගෙවන නුනුවණ පෘතග්ජන අසරණ මිනිසුන්ගේ ධනය සූරා කමින් ඔවුන්හට තෙරුවන් සරණත් අහිමි කරමින් එකම බෝට්ටුවේ නැඟී විනිපාත නම් ලෝකුඹු නිරය වෙත යාත්‍රා කරමින් සිටී.
ව්‍යාජ මාර්ගඵල ලාභි අභය නම් භික්ෂුව හිස් පුද්ගලයෙකු බවත් ඔහු බුද්ධ ශාසනය නම් පාරිශුද්ධ මහ සයුරේ නොරඳන මළකුණක් බව ඉතා පැහැදිළිය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. 
(තතිය සූත්‍රය, දුක නිපාතය, බාල වග්ග, අං.නි)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සම්බුදු සසුන නම් කෙතෙහි ආරක්ෂක වැට නම් උතුම් විනයයි. එය බිඳ දැමූ කල්හි නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මය නම් වූ රන්වන් ගොයමෙහි සාරය උරා බොමින් මිසදිටු අධර්මයන්වන ගොජිරි-බජිරි වැනි වල් පැළෑටිවලට සුවසේ වැඩීමට හැකිවේ. මේ භයානක වල් පැළෑටි මර්දනය නොකළහොත් නොබෝ කලෙකින් මේ පින්කෙත පුරන් වී විනාශ වී යනු ඇත.

මේ බරපතළ මිසදිටුව හඳුනාගත් පින්වත් මිනිසුනේ, අනතුරට වැටී ඇත්තේ, දුගතියට යන මඟ සාදා ගෙන ඇත්තේ ඔබේම සිංහල බෞද්ධ ලේ ඤාතීන් නොවේද ? මේ වත්මන් ඡබ්බග්ගිය හොර රහත් මුදලාලිලා විනාශ කරන්නේ ඔබේත් මගේත් නූපන් දරුවාගේ සුගති සැපයයි. ක්ෂණ සම්පත්තියයි. මේ වසා දමන්නේ සතර අපාය මහ ගෙය කරගත් අනවරාග්‍ර සසරෙන් සදහටම මිදීමට ඇති ඒකායන මාර්ගයයි. ධර්ම විනය විකෘති කිරීම තරම් දරුණුතම අපරාධයක් තවත් නොමැත.

ශාසන චිරස්ථිතිය අපේක්ෂා කරන අපි සැම මේ අධර්මකාමීන්ට එරෙහිව ධර්මිකව නැඟී සිටිමු. මේ මිසදිටුවට හසු වූ හෝ හසුවිය හැකි අසරණයින්ගේ මිසදිටු අන්ධකාරය දුරලනු වස් ඔබගේ කාලයෙන් එක් විනාඩියක් වැය කරන්න. එය නූතන, අනාගත බොහෝ දන හිත සුව පිණිස පවතිනු නොඅනුමානයි !

තෙරුවන් සරණයි!