සම්බුදු නුවණින් දුටු බුදු සසුනේ අද දවස…

//සම්බුදු නුවණින් දුටු බුදු සසුනේ අද දවස…

සම්බුදු නුවණින් දුටු බුදු සසුනේ අද දවස…

අනාගතයේ ඇතිවන්නා වූ ශාසන පරිහාණිය ගැන අප සරණගිය තිලෝගුරු සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලාට පෙන්වා දුන් සේක. බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලක් ඇවෑමෙන් අද වන ඒ යුගය එලඹ ඇතැයි ඒ බුද්ධ වචනය එලෙසට සත්‍ය බව පසක් කරමින් ශාසන අන්තර්දානය පිනිසම කටයුතු කරන්නා වූ ශාසන විලෝපික සද්ධම්ම පතිරූපකයන් ශාසනය තුලින්ම පැන නැගී මහත් විනාශයක් කරමින් සිටී.

තථාගතයන් වහන්සේ ආණී සූත්‍රයේ අනාගතයේ පහල වන පිරිස් ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතන බව පෙන්වාදුන් සේක.

ඒ වෙනුවට කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්, කන් නමත්, දැනගැනීම පිණිස සිත පිහිටුවත්, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහු යැයිද පෙන්වාදුන් සේක.

මෙකල ශාසනය තුළ මේ ලක්ෂණ පැහැදිලිවම දක්නට ලැබේ. තමන් අවබෝධයෙන් දේශානා කරන අසවල් මාර්ගඵල ලාභීයෙක් යැයි හුදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන්ම ප්‍රකාශ කරන්නා වූ සද්ධම්ම පතිරූපකයන්, වරදවා ගත් අර්ථ පද ව්‍යඤ්ජන ඇත්තා වූ අන්‍ය වූ අධර්මයක් ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරමින් සිටී.

බොහෝ පිරිස් ද ධර්මය කෙරෙහි ඇති දැනුම අල්ප නිසාම, ඒ ශ්‍රී සද්ධර්මය සවන් දීමට ඇති අකමැත්ත නිසාම, කෙටි ක්‍රම ඔස්සේ නිවනට පමුණුවාලනවා යැයි වහසි බස් දොඩන ඉහත කී සද්ධම්ම පතිරූපකයන්ගේ බසට රැවටෙත්. ඒ අය අවබෝධය මුවාවෙන් තව තවත් මුළාවටම පත් වී බොහෝ අකුසල්ද රැස්කොට බොහෝ දුක් විදීමට මං පෙත් හෙළි පෙහෙළි කර අවසානය.
අමු අමුවේම ධර්මය, අධර්මය ලෙසත් අධර්මය ධර්මය ලෙසත් විනය අවිනය ලෙසත් අවිනයක් විනය ලෙසත් මේ සද්ධම්ම පතිරූපකයන් පනවයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය කෙරෙහි අල්පමාත්‍ර වූ දැනුමක් නොමැති ඒ ශ්‍රී සද්ධර්මය කෙරෙහි උනන්දුවක් නොමැති පිරිස් මේ අධර්මය ධර්මය කොටද අවිනය විනය කොටද වරදවා ගෙන මහත් වූ ශාසන පරිහානියක් සිදුකරමින් තමන්ට අනුනට ද මහත් වූ අවැඩක්ම සිදුකරමින් බොහෝ අකුසල් සිදුකොට නිරයටම මඟ සලසා ගනිති.

මේ අසත්ධර්මයට නතු වී සද්ධර්ම පතිරූපකයන්ගේ රූකඩයක් නොවීමට නම් ඔබ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි හික්මිය යුතුමයි. ගැඹුරු වූ ගැඹුරු අර්ථ ඇත්තා වූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නා වූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් දැනගැනීම පිණිස සිත පිහිටුවිය යුතුය. උකටලී නොවී ඒ ධර්මයන් උගතයුතුයයි පුහුණු කළ යුතුයයි කල්පනා කල යුතුයි! මේ ආකාරට භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදිම හික්මිය යුතුයි! කුසල් දහම් හි නියැලී නිවන පිනිසම අප්‍රමාදී වී යහපත උදාකරගත යුතුයි.

තෙරුවන් සරණයි!!!