සම්බුද්ධ ශාසනය නගාසිටවූ යතිවරයන් වහන්සේලා…

//සම්බුද්ධ ශාසනය නගාසිටවූ යතිවරයන් වහන්සේලා…

සම්බුද්ධ ශාසනය නගාසිටවූ යතිවරයන් වහන්සේලා…

වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමි.

ලංකාවේ ස්ථාපිත වූ බුදු සසුන ක්‍රිස්තු පුර්ව 162 න් පටන්ගත් දුටු ගැමුණු රජුගේ රාජ්‍ය සමයේ පටන් ක්‍රිස්තු පුර්ව 102 වළගම්බා රජු සමය වන තුරු රට පුරා සංඝයා වහන්සේ ධර්ම විනය රැකගනිමින් නිර්වාන මාර්ගයේ පිළිවෙත් පිරුහ. මේ කාලයේදී රහතුන් වහන්සේලා ගෙන් පවා මෙරට අඩුවක් නොවීය. කෙසේ නමුත් විටින් විට සිදුවුන විදේශ ආක්‍රමණ නිසාද සොලී සහ ඉන්දීය හමුදාවලින් වුන හිරිහැර නිසාද ක්‍රමයෙන් භිෂුන් වහන්සේලා අඩුවන්නට පටන් ගති. 1739 වසරේ ශ්‍රී විජය රාජසිංහ රජුගේ පටන් 1815 වසරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හැත්තෑ හය වසරක පාලන සමය වනවිට උපසම්පදා භික්ෂුවක් ලංකාවේ සොයාගන්නට සිටියේ නැත.

වැලිවිට සරණංකර හිමියන් 1698 වසරේ ජුනි 19 දින මහනුවර අසල වැලිවිට ගමේ උපන්නේය. ගමේ ප්‍රධානියා .වූ කුලතුංග නිලමේ එතුමාගේ පියතුමා විය. කුලතුංග බණ්ඩා යන ගිහි නමෙන් හැඳින්වුන ඔහු වයස 16 දී ගිහි ගෙය හැර සාමනේර ප්‍රව්ජ්යාවෙන් මහන වුයේ පුජ්‍ය සුරියගොඩ රාජසුන්දර නම් ගනින්නාන්සේ නමක් ළඟය. 1707-1739 කාලයේ මහනුවර රජ කල අවසාන සිංහල රජුවූ වීර නරේන්ද්‍රසිංහ රජු මෙම සුරියගොඩ ගනින්නාන්සේ සමග කිට්ටුව ඇසුරු කළේය. අවවාද අනුසාසන ලැබුවේය.

“දස්කොන්” ට මරණ දඬුවම ලබාදීම ගැන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පසුකාලීනව බෙහෙවින් පසුතැවිලි වූ රජුගේ මේ තත්ත්වයෙන් අවස්ථාවදීව ප්‍රයෝජනයක් ලබාගන්නා, එවකට මහනුවර විසූ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රජු සහ දස්කොන් අතර සිත් බිඳවීම සිදුකරන්නේ සූරියගොඩ තෙරුන් සහ ලෙව්කේ රාළහාමිගේ (ලෙව්කේ දිසාව නොවේ) කුමන්ත්‍රණයක් මත බව රජුට ඒත්තු ගන්වා ඇත. එම කීම පිළිගන්නා වීර නරේන්ද්‍රසිංහ රජු විසින් සෙංකඩගල ප්‍රධානම බෞද්ධ විහාරය වූ සූරියගොඩ විහාරයේ සූරියගොඩ ගනින්නාන්සේ රාජ්‍ය ද්‍රෝහියෙකි යැයි කියා මරණයට පත් කළේය. ලෙව්කේ රාළහාමි අලගල්ලට නුදුරු මාකහෙල්වල ගමේ සිර අඩස්සියට පත් කැර ඇත.

මෙසේ ගුරුවරයෙක් නැතිවූ සරණංකර සාමනේරයන් සෙංකඩගල අගනුවරින් සැතපුම් කිහිපයක් දුර කඩුගන්නාව පෙදෙසේ අලගල්ල කඳුකරයේ ලෙනක වාසයට පැමිණියේය. අලගල්ල ආසන්නයේ ගමේ නිවාස බන්ධන ගත කොට සිටි ලෙව්කේ රාළහාමි උන්වහන්සේට පාලි උගැන්වීය.

18 වන සියවසේ, භික්ෂූන් සඳහා වූ විනය නීති අනුව කටයුතු කල කෙනෙකු ලංකාවේ දකින්නට දුර්ලභ විය. ගනින්නාන්සේලා නමින් හැඳින්වුන සාමනේර ශීලය පමණක් සමාදන්වූ කුඩා පිරිසක් විනාශ නොවුන පන්සල් කිහිපය ආරක්ෂා කරගෙන ඒවායේ ඉතිරිව පැවැති ධර්ම ග්‍රන්ථත් ධාතුන් වහන්සේලා සහිත කරඬු ආදියත් ආරක්ෂා කරගෙන සිටියහ. සමහරෙක් ජාතක පොතෙන් සවසට ජනයාට කතා කියා දුන්හ. පින් පිණිස මහා ජනයා පන්සල් වලටම ගෙන ගොස් ඔවුනට දානය පිරිනැමුවත් ඔවුන් භික්ෂු සංඝයා ලෙස සිල්වත් නොවීය. අඹු දරුවන් රැකුමත් ගොවිතැන් බත් කරමින් ඉන්නා නිසාත් ජනයා ඔවුනට “ගණයා ” ආදී වචනවලින් පරිභව කළහ. නමුත් ඔවුන් පන්සල් ටිකත්, පොත් පත් සහ අනෙකුත් දෙයත් නොරකින්නට ලංකාවේ බුද්ධාගම අද දක්වා පැවතීයැයි සිතීම අසීරුය.

බුදු දහම පිරිහීමට හේතුවුණා කරුණු කිහිපයක් ම විය. කතෝලික, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් බෞද්ධයන් ඒ ඒ ආගම්වලට හරවා ගන්නට ඉඩදී පාලකයන් නිහඩ වීමත්, විදේශික පාලකයන්ගේ පලාත්වල රැකී රක්ෂා සහ වෙනත් වරප්‍රසාද තනතුරු ලබා ගැනීමත් සඳහා ආගම මාරු කිරීම අවශ්‍යම විය. නියම ධර්මය කියා දෙන්නට ධර්මධර භික්ෂුන් නොසිටීම නිසා බුද්ධ ධර්මය නොතේරුන මිනිස්සුන්ට මිෂනාරි වරුන් කියාදුන් ක්‍රිස්තු ධර්මය තේරුම් ගැනීම පහසු විය. පෘතුගීසි සහ ලන්දේසි විදේශිකයන්ගේ ගති සිරිත් පුරුදු පුහුනුවුන සිංහලයන් සිය ඇඳුම් පමණක් නොව සිරිත් ද අතහැර බටහිර සිරිතට හැඩ ගැසිනි.

මේ කාලයේ වැලිවිට සරණංකර උන්වහන්සේ මෙන්ම සාසන අභිවුර්දිය රුචි තවත් කිහිප දෙනෙක් උන්වහන්සේ හමුවන්නට අලගල්ලට ආහ. දිවයිනේ දකුණේ සිට පැමිණි සිටිනාමළුවේ ධම්මජෝති, ඉලිපන්ගමුවේ සාමණේර ,කදිරගොඩ ගනින්නාන්සේ ආදී අය සිල්වත් සමාගම නමින් සංවිධානයක් ඇතිකර ගත්හ. අඹු දරුවන් රකිමින් කෙත් කුඹුරු වපුරමින් දවසින් පැයක් දෙකක් පමණ පන්සලේ ගතකල අපකීර්තියට පත්ව තුබූ ගනින්නාන්සේ නාමය වෙනුවට සිල්වත් තැන යන නමක් භාවිතා කරන්නට කතිකා කර ගත්හ.

එවකට ජනතාව ට අමතකව ගිය පිණ්ඩපාතය සඳහා වඩිනා භික්ෂුවක් මතක් කරන්නට උන් වහන්සේ දිනපතා ගෙයින් ගෙයට පිඬු සිඟා වැඩියේය. මහා ජනයා ඉතා භක්තියෙන් “පිණ්ඩපාතික සරණංකර ” යයි උන්වහන්සේට ආරුඩ නමක් පටබැන්දෝය. පාළි භාෂාවද ත්‍රිපිටක ධර්මයද මනාසේ උගෙනගත් සරණංකර හිමියන් ඉතා මහත් දුෂ්කරතා මැද දුර බැහැර විහාරස්ථානවලට ගොස් පොත් සහ ලේඛන සොයා කියවා උගත්තේය. එවකට යටපත්ව පවතී බෞද්ධ ආගම නැවත ගොඩ නගා සිටුවීමට උත්සුක වූ උන්වහන්සේ ඒ සඳහා මහා ජනයාද පාලකයන්ද පෙලඹවීය. උන්වහන්සේ ගේ දහම් දේශනා අසන්නට බොහෝ දෙනා පැමිණියහ.

සිල්වත් මහනුන් ට නායකත්වය දුන් සරණංකර සාමනේරයන් වහන්සේ බුදුන් කල පැවැති චාරිත්‍රය අනුව ගෙයින් පිඬු සිඟා සිය ශරීරය පෝෂණය කර ගත්තේය. නිතර ධර්මය කියා දෙමින් ජනයා බොදු සිරිතට හැඩගැස්වීය. කන්ද උඩරට සියළුම් ජනයා සරණංකර සාමනේරයන් වහන්සේගේ අනුගාමිකයන් වුහ. එකල රජකළ වීර නරේන්ද්රසිංහ රජුගේ ඥාති සොහොයුරාවන විජය රාජසිංහ කුමරුවනට භාෂාව සහ ධර්මය ඉගැන්වීමට සරණංකර සාමනේරයන් වහන්සේට පන්ගාර්තු විය. විජය රාජසිංහ ගේ මෙම සම්බන්ධය එම කුමාරයා රජවූ පසු සරණංකර හිමියනට ඉතා ප්‍රයෝජනවත් විය. සරණංකර උන්නාන්සේගේ ප්‍රධානම අභිලාශය වූයේ නැවත ශ්‍රී ලංකාව තුල භික්ෂු සාසනයක් ඇතිකිරීමය. මේ සඳහා උපසම්පදා සාසනය සඳහා බුරුමයෙන් හෝ සියම් රටෙන් ආධාර අවශ්‍යවිය. සුදුසු නැවක් ලබාගන්නට නම් එවකට ලංකාවේ මුහුදුබඩ පාලන කරන ඕලන්ද පාලකයන්ගේ උපකාරය අවශ්‍ය විය. විජය රාජසිංහ කුමරු 1739 දී සිහසුන භාරගත් පසු නැවක් ලබා ගැනීම සඳහා මුහුදු පළාත් පාලනය කල, ඕලන්ද ආණ්ඩුකාරයා සමඟ සාකච්ඡා කිරීමට රාජ්‍ය නියෝජිත පිරිසක් යවන්නට රජතුමාව එකඟ කොටගෙන ඕලන්ද නැව් පතියෙකුගේ නැවක්‌ මගින් මේ සඳහා සියම් රාජ්‍යයට නියෝජිත පිරිසක් යවන්නට 1741 දී උත්සාහක් දැරුවද එම නැව මුහුදුබත් වීමෙන් එය ව්‍යාර්ථ විය. බොහෝ දෙනෙක් ජීවිතක්ෂට පත්වූමුත් කිහිප දෙනෙක් දිවි ගලවා ගත්හ. දෙවන වරටත් ඕලන්ද ආණ්ඩුකාරයාගේ උදව්වෙන් තවත් නැවක් ලබා ගෙන 1745 දී පිටත් වූ දෙවන නියෝජිත පිරිස සියම් දේශය (දැන් තායිලන්තය) වෙත ළඟාව සියම් රජතුමාට සිය අවශතාවය දැන්වුමුත් අවාසනාවකට මෙන් හදිසියේම සිදුවූ විජය රාජසිංහ රජුගේ අභාවය නිසා අලුතින් පත්වෙන රජු කෙබඳු කෙනෙක් දැයි නොදැන සියම් භිෂුන් වහන්සේලා පිරිසක් ලංකාවට යවන්නට සියම් රජු අකමැති විය. විල්බාගෙදර නිලමේ ඇතුළු දුත පිරිස හිස් අතින් ආපසු ආහ.

අපේ වාසනාවට ඉන් පසු 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර හිමියන් ගැන ඉතා භක්තියෙන් සිටි කෙනෙකි. රාජ්‍ය විචාරනයෙදී ඔහු නිතොර සරණංකර හිමියන්ගේ අවවාද උපදෙස් පැතීය. මේ යහපත් වාතාවරණයෙන් ප්‍රයෝජන ගෙන ඕලන්ද රජයේ Dutch East India Company සමාගමේ නැවකින් තුන් වන වරටත් දුත පිරිසක් සියමයට යවන්නට සරණංකර වහන්සේ සමත් විය.1751 ජුලි මස මහනුවරින් පිත්වූ සිංහල දුත පිරිස ත්‍රිකුණාමලය වරායෙන් නැව් නැග සියම් දේශයට ලඟා වුහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඉල්ලීම පිළිගත් සියම් දේශයේ බෝරෝම්කොත් මහා රජු උපසම්පදා කෘත්‍යන් ගැන මනා පරිචයක් ඇති ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේලා විසි නමකගෙන් සමන්විත පිරිසක් පුජ්‍ය උපාලි ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලංකාවට එවීය. 1753 වසරේ ජුනි මස මෙම පිරිස මහනුවරට ලඟා වුහ.

මෙසේ උඩරට උපසම්පදා සීමා පිහිටවා සියම් මහා නිකාය ලෙස නිකායක් ඇතිවූ පසු පුජ්‍ය සරණංකර සාමනේරයන් වහන්සේ 55 වැනි වියේදී ඉහල උපසම්පදාව ලැබුවේ මල්වතු විහාරයේ දී ,1753 වසරේ ඇසළ මාසයේදීය

උපසම්පදා වෙන් පසුව ශ්‍රී ලංකාවේ සංඝරාජ යන සම්මානයෙන් පුද ලැබූ සරණංකර හිමියන් කල මහම සේවය නැවත ලංකාවේ උපසම්පදා භික්ෂු සාසනය ඇතිකිරීමය. මේ හැරෙන්නට පාලි භාෂාව සහ ධර්ම අධ්‍යයනය සඳහා සංඝයා තුල මහත් ඕනෑකමක් උනන්දුවක් ඇති කිරීමට උන්වහන්සේ සමත් විය. උන් වහන්සේ කල ලේඛන අතර මුනි ගුණ අලංකාරය , සාරාර්ථ සංග්‍රහය, අභිසම්බෝධි අලංකාරය, මධුරාර්ථ ප්‍රකාෂනිය, රූප මාලා වැනි ඉතා වටිනා කෘති උන්වහන්සේගේ අසාමාන්‍ය ධර්ම ඥානය පිළිඹිමු කරයි.

මෙසේ අප ලක් බුදු සසුනට නැවත ජීවන හුස්ම පිඹ පනගත් මහා සංඝරාජ අතිපුජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමින් වහන්සේ වයස 81 වියේදී 1778 ජුලි මස 18 වැනිදා අවසන් හුස්ම හෙලීය. අප කරන සැම පිනක්ම මේ මහා වීරයාණන් වහන්සේට අනුමෝදන් වේවා

තෙරුවන් සරණයි!!!

උපුටාගැනීමකි.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::