නමෝ බුද්ධාය..!

“විනයෝ නාම සාසනස්ස ආයු. විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති”, විනය නම් ශාසනයේ ආයුෂයයි. විනය පවතින කල්හි ශාසනය ද පවතී.

සම්බුද්ධ සාසනයේ බොහෝ කල් පැවැත්ම පිණිස අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ බුද්ධ සාසනයේ පැවිදි වෙනවානම්, භික්ෂු භික්ෂූණීන් විසින් පිළිපැදිය යුතු විනය නීති මාළාව උතුම් විනය පිටකයට ඇතුළත්ය..

සම්බුද්ධත්වයෙන් විසි වසක් පමණ ගත වනතුරුත් එවැනි ශික්ෂාපද වල අවශ්‍යතාවයක් නොවූයේ සැබෑ ලෙසම මහණදම් පිරීමේ අභිලාශයෙන් පැවිදි වූවන් මුල් යුගයේ බහුල වීම නිසාය. පසුව එම තත්වය වෙනස් වන්නට විය.

බුදු සසුණේ යම් ධර්මතාවයක් ඇත. එනම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් යම් විනය ශික්ෂාවක් පණවන ලද්දේද, දැන දැන එම විනය නීති බිඳින කිසිවෙකුටවත් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණත්වයට පත් විය නොහැකි වීමයි. ද්‍රද්ධාවේ දුර්වල කම නිසාමයි එසේ විනය නීති උල්ලංගනය කරන්නේ. එනම් අචල ශ්‍රද්ධාවේ පිහිටීම නමැති සෝතාපන්න බවවත් ඔවුනට අහිමි වී යයි..

ඇතැම් සුළු ශික්ෂාපද කැමැතිනම් වෙනස් කරගන්න යැයි දේශනා කරද්දිත්, මහා ශාස්තෲ ගෞරවයෙන් වැඩ සිටි මහා කස්සප, ආනන්ද ඇතුළු මහා රහතුන් විසින් බුද්ධ නීතිය ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට එකඟත්වය පළ කරන ලදි.

මේ අනුව දැන දැන විකාලයේ දානය වැළඳීම යන කරුණ රහතන් වහන්සේලා අතින් සිදු විය හැක්කක් නොවේමයි. මක් නිසාද උන්වහන්සේලා තමයි ශ්‍රද්ධාවේ ප්‍රතිමූර්තිය, ශීලයේ ප්‍රතිමූර්තිය. උන්වහන්සේලාගේ ශීලයේ සිදුරු නැත. පුල්ලි නැත. පැල්ලම් නැත..

විශාඛා උපෝසථ සූත්‍රයේ අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ගිහියන් විසින් උපෝසථ ශීලය රැකිය යුත්තේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් බවයි. එනම් “ඒ උතුම් රහතන් වහන්සේලා දිවි ඇති තුරා විකාළ භෝජනයෙන් වැළකී වාසය කළ සේක, එම නිසා මමත් උන්වහන්සේලා අනුගමනය කරමින් අද විකාල භෝජනයෙන් වළකිමි” යන ලෙස විකාල භෝජන සිල් පදය සමාදන් වන ලෙසයි.

විනයෙහි පැහැදිළිවම අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂුනට විකාල භෝජනය නොකරව් යනුවෙන් සිඛපද පනවා ඇත්තේය.

එනම්. “යො පන භිඛු විකාලෙ ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං”, එහි තේරුම ” යම් මහණෙක් විකාලයෙහි ඛාදෙය්‍යක් හෝ භෝජනීයක් හෝ කෑයේ හෝ අනුභව කළේ හෝ වේනම් පචිති ඇවැත් වේ.” යන්නයි. මෙහි ඛාදණීය භෝජණීය යන වචන දෙකට ආහාර පිණිස ගන්නා සියල්ල අයත්ය.. අරුණෝදය පටන් හිරු මුදුන් වීම දක්වා කාළය පැවිද්දන් දානය වළඳන කාලයයි..

විකාළ භෝජන ශික්ෂාපදය ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් බැවින් කාලය ඉක්ම යෑමෙන් පසු කාලය ඇතැයි සිතීමෙන් වැළඳුවද පචිති ඇවැත් වෙයි. නොදැනීම ඇවැත් නොවීමට හේතුවක් නොවේ. විකාලයෙහි වළඳන බව දැන දැන වළඳයිද, ගිලින වාරයක් පාසා දුකුළා ඇවැත් වෙයි. මුඛයට ගෙන නොගිල්ලේද ඇවැත් නොවේ..

ඉතින් පැවිදි උපසම්පදාව සීලය තබා ගිහි උපෝසථ ශීලයටත් අයත් විකාල භෝජන ශික්ෂාපදය ජීවිතය ගියත් රහතුන් විසින් ශාස්තෲ ගෞරවයෙන් යුක්තව සිදු නොකරති..

සාධු..! සාධු..! සාධු..! ඒ උතුම් සිල්වත් මහා සඝරුවනර මාගේ නමස්කාරය වේවා..

ඇසුර: රේරුකාණේ චන්දිවිමළ හිමියන් විසින් රචිත, “උපසම්පදා ශීලය” ග්‍රන්ථය.