වසර 133 ක් සපිරෙන සිංහල බෞද්ධ කොඩිය

//වසර 133 ක් සපිරෙන සිංහල බෞද්ධ කොඩිය

වසර 133 ක් සපිරෙන සිංහල බෞද්ධ කොඩිය

අදවන් දිනක සිංහලයින් අතින් නිර්මාණය වූ ලෝක බෞද්ධ කොඩියේ කථාව…..

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සදහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන් පොහෝදින නිවාඩුව බෞද්ධයාට අහිමි වන්නේ වසර 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩු කාර වරයාගේ කුරිරු නියෝගයක බල මහිමයෙනි.

ඔහු පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ඉන්පසු එළඹෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට මව්බිම යටත් වන අඳුරු යුගයේ 1817 අංක 5 දරන ආඥා පනත යටතේ පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වෙයි.

මෙසේ තම උතුම් ආගමික උරුමයේ වරප්‍රසාදය අහිමි වන බොදුනුවන් අසරණව කල්ගෙවූ යුගය හමාරවීමේ සදහම් එළිය මතුවන හෝරාව ඇරැඹෙන්නේ වසර 1883 මාර්තු 25 වැනිදා අඳුරු ර‍ාත්‍රියේදී ය. එදින බොරැල්ල මහ පන්සලේ සිට කොටහේන දීපදුත්තමාරාමය වෙත, බෞද්ධ සංස්කෘතික අංග රැගත් පෙරහරක් ගමන් ආරම්භ කරයි. මෙම පෙරහර සංවිධානය කරන්නේ දීපදුත්තමාරාම විහාරාධිපති වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙනි.

රාත්‍රි කාලයේ වීදි සංචාරය කරන පෙරහරට අතරමගදී දැඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙහිදී පෙරහරෙහි ගමන්ගත් අයකුගේ ජීවිතය පවා අහිමි වන අතර එම අඳුරු ප්‍රවෘත්තිය ‘කොටහේනේ කැරැල්ල’ ලෙස විදේශයන් හි පවා ප්‍රසිද්ධියට පත්වෙයි.

අයුක්තිය අසාධාරණය ඉදිරියේ පරගැති නොවූ අතීත, අභීත භික්‍ෂූන් වහන්සේ ගිය ගමන් මඟ අත් නොහරිමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියෝ, අහිංසාවාදී පිළිවෙතින් මේ පීඩනයට මුහුණ දීමට ඉදිරි සැලසුම් සකස් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස වස්කඩුවේ ශ්‍රී සුභූති හා හික්කඩුවේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන් වහන්සේ ගේ මග පෙන් වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාද ඇතුලුව ‘බෞද්ධාරක්‍ෂක කමිටුව‘ නමින් සංවිධානයක් බිහිවෙයි. එම කමිටුවේ යෝජනා රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා ඉදිරිපත් කළ සංදේශය සැළකිල්ලට ගනිමින් එංගලන්තයේ මහ රැජිනගේ නියෝගයක් මත 1885 මාර්තු 27 දින ප්‍රකාශිත ගැසට් නිවේදනයක් මගින් වෙසක් පුර පසළොස්වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්වෙයි.

ලද ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වන බෞද්ධාරක්‍ෂක සභාව, එළඹෙන වෙසක් පුන් පෝදින නිවාඩුව අති උත්කර්ෂවත් ලෙස සැමරීමට තීරණය කරයි.

එහි සංවිධාන කටයුතු වෙනුවෙන්ද දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්වන අතර එහි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ද ප්‍රමුඛව කටයුතු කරති.

එළඹෙන වෙසක් උත්සවය සැමරීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කරගත යුතු යයි කමිටුව තීරණය කරන අතර ඔවුන් සැමදෙනාගේම අදහස් යෝජනාවන්හි අවසන් ප්‍රතිඵලය ලෙස ෂඩ් වර්ණයෙන් සමන්විත බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වෙනි දින දී නිර්මාණය වේ.

එසේ නිර්මාණය වන බෞද්ධ කොඩිය 1885 අප්‍රේල් මස 28 වනදා අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී කැලණිය රජ මහා විහාරය, පරම විඥානාර්ථ මූලස්ථාන ගොඩනැගිල්ල හුනුපිටිය ගංගාරාමය මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙන සහ කොටහේන දීපදුත්තාරාමය යන ස්ථානයන්හි එසවෙන්නේ මේ ලක් දෙරණ වසාගත් අහස් කුස බුදුරැස් විහිදෙන ෂඩ් වර්ණයෙන් නැහැවෙමින්, එම සුවිශේෂී ඓතිහාසික අවස්ථාව සදානුස්මරණීය ලෙස සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කරමිනි. එය 1956 වසරේදී ලෝක බෞද්ධ ප්‍රජාවගේම බෞද්ධ කොඩිය බවට ද පත්වෙයි.

වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්වීමත්, එහි මහා ඵලයක් ලෙස බෞද්ධ කොඩිය නිර්මාණය වීමේත් මූල බීජය වැපිරෙන්නට ‘කොටහේනේ කැරැල්ල’ පාදක වේ.

එසේ නම් බෞද්ධ කොඩිය ප්‍රථම වරට ළෙලදුන් එක් පුණ්‍ය භූමියක් වූ කොටහේන දීපදුත්තමාරාමය සහ එම විහාරයේ විහාරාධිපතිත්වය උසුලමින් මේ කාර්යයේ පෙරටුගාමී මහා චරිතයක් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ද බෞද්ධ කොඩිය පුරාවෘත්තයේ සදාතනික සිහිවටනයන් ලෙස බෞද්ධ මහා වංශ කතාව වර්ණවත් කරලනු ඇත.