රාග ද්වේශ මෝහ වලින් තෙත් වූ එහිම ඇලී ගැලී ගිලී පීනමින් සිටිනා සිත් වල මනෝ විකාර හට ගැනීම සාමාන්‍ය දෙයකි. මනෝ විකාර ඒ ඒ කෙනාගේ සිතීමේ රටාවට අදාල දෙයක්ම වේ. පුංචි කාලේ මගේ සිතේ හටගත් මනෝ විකාරයකි. එනම් මම කුඩා කළ නයිට් රයිඩර් රථයට දැඩි ලෙස ප්‍රේම කළෙමි. පොත් පිටු පුරා එම රථය ඇඳ ඒය අයිති කර ගැනීමට සිහින මවමින් සිටියෙමි.කොල්ලෝ කුරුට්ටෝ එක්ක ඒක ගැනම කථා කර කර සිටියෙමි. එක් දිනක් අඩ නින්දේ යමක් මට පෙනුණි. එනම් මයිකල් නයිට් ඇවිත් කාර් එක මගේ ළඟ නවතා මේක මම ඔයාට දෙනවා, කාර් එක අද සිට ඔයාගේ, සිංහලෙන්ම කීවේය, ඒ තරම් සතුටක් මට තවත් නැත, එක පාරටම ගැස්සී ඇහැරුණු මම මෝටර් රථය කොහේදැයි සෙවීමට පටන් ගතිමි. මිදුලේද නැත, ගේ පිටිපස්සේද නැත. ඇතුළේද නැත. ඒත් ඒ දුටු දෙය ඉතා සජීවී දෙයකි. ටික වේලාවකින් තේරුණේ මේක මනෝ විකාරයක් බවය. වැරදි ලෙස සිතීමෙන් විඥාණය මවා දුන් විකාරයක් බව පසු කාලෙක තේරුන් ගත හැකි විය..

මේ මඟඵල ලාභීන්, ධ්‍යාන ලාභීන්, කියවන්නේ ඔය වැනිම මනෝ විකාරයන් බව අත්දැකීමෙන් දනිමි. මපියාණන් මා කුඩා කළ රැගෙන ගිය එක් භාවනා මධ්‍යස්ථානයකි. එහි සිටි වයලීන ගසනා කෙල්ලකට සරස්වතීගේ බැල්ම ඇති බව එහි ගුරුන්නාන්සේ පවසා ඇත. මේකිට ගහන්ට පුළුවන් වයලීනයක් නැති බව වයලීන ගැසීමේ හැකියාව ඇති වෙනත් අය දුටු පසු මට වැටහුණි, නමුත් එතැනට ගිය බොහෝ දෙනෙක් ඇයට සරස්වතීගේ බැල්ම ඇත. යන්න කථා වෙනු මට ඇසුණි. කෙල්ල ඉහලින් වැජඹුණි. ඒකිට සරස්වතීගේ බැල්මනම් වයලීන ගහන්ට පුළුවන් උන්ට සරස්වතී වැහී සිටිය යුතුය. තවද ගුරුන්නන්සේට ධර්මය කියලා දෙන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයෙකි. බොහෝ කාලෙකට පසු ඒ ගුරුන්නාන්සේට කථා කොරන බ්‍රහ්මයෙක් නැති බව වැටහුණේ එහි බොහෝ දෑ මනෝ විකාර බවත්, ධර්ම විනයට නොගැලපෙන බවත් වැටහුණු විටය. එහි එක් ආච්චියෙක් කියනවා මට ඇසුණේ තමනට අඳුරෙදි දෙවියන් විසින් යන මාවත ආලෝක කර දෙන බවකි. රාත්‍රී කාලයේදී මා දුටුවේ, භාවනා මධ්‍යස්ථානයේ පහල වැසිකිලියට යාමට ආච්චි ලයිට් එක දාගෙන ගිය බවකි. ඇතැම් විට වැසිකිලියට යන්න දෙවියන් ටෝච් ගහන්නේ නැතිවා විය හැකි යැයි එකල මට සිතුණි.. එම ගුරුන්නාන්සේගේ නෝනාට ධර්මය අවබෝධ වෙන්න පටන්ගෙන තිබුණේ ඝණ දෙවියන්ට පූජාවක් තැබීමෙන් අනතුරුව බව එතුමිය කියනු මට ඇසුණි.. ඕක අහපු අනිත් මොට්ට රාළලා ටික ඝණ දෙවි පූජා තබන්නට කතිකා කරනු මට ඇසුණි. මේ වගේ තැන් වලට යන අයගේ පොදු ලක්ෂණයක් දුටිමි. එනම් ඒ එතැන කථා වෙන එකම මනෝ විකාර ගොන්නකට ඒ අය කොටු වන බවකි. සූත්‍ර විනය ගැන යම් දැනුමක් ලැබුණු පසුව බොහෝ කලකට පසු මපියාණන් එක්ක එක කණ්ඩායම රැස් වන ධර්ම සාකච්චාවකට නැවත ගියෙමි. පුදුමයනම් ඒ පිරිස ධර්ම විනයට ගැටෙන දේවල් වලින් තවමත් ඔලුව පුරවාගෙන සිටීමයි. ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි නේද කීවාම ඒ පිරිස මා දෙස බැලුවේ මේ පොඩි එකෙක් මොනවා දන්නවාද යන බැල්මෙනි. දැන් නොතේරුණාට පස්සේ ටික ටික මේක අවබෝධ වෙයි යැයි මට ඇන්ටියෙක් ඇවිත් කීවාය. නැවත නොගියෙමි..

මේ වගේ තැන් වලට එන ගෑණු ටිකට තමයි මේ මනෝ විකාර වැඩියෙන්ම හටගන්නේ.. මයික් එක කටට දුන්නාම කියන මනෝ විකාර වල කෙළවරක් නැත.. ඇතැම් අයට දෙවි වරු ඇවිත් වැඳ වැටෙති. ඇතැම් ඇන්ටිලාට හෙට වෙන එක අද පෙනෙති. ඇතැම් ඇන්ටිලාට දෙවියෝ ඇවිත් ආලෝක විහිදුවති.. බ්‍රහ්මයෝ ඇවිත් දැන්නම් ඔහේට හතරවැනි ධ්‍යානය ලැබී ඇත යැයි සහතික දෙති.ඇතැම්හුට මාර්ගඵල දෙති.. ඕක අහගෙන සිටිනා අනිත් ආච්චිලගේ අත් දෙක එකතු වී නලලට යති, අනේ සාධු.. සාධු කියැවෙති.. තැන තැන ගොස් කියති. ඊළඟ පාර යනකොට තවත් ඒ වගේම මොට්ට රාළ කෙනෙක් රැගෙන යති. හැමෝම එකතු වී මනෝ විකාර කියවති.. අන්තිමේට ගුරාටත් තරු පෙනෙන්නට විකාර කියවති… අහෝ දුකකි ඛේදයකි..

මේ වගේ ගුරාලා අහිංසක මිනිසුන් තමන්ගේ අවිද්‍යාවෙන් වැසුණු ලෝක වල මේ මිනිස්සුන් තව තව සිර කරති. බොහෝ අකුසල්ද රැස් කරති. අඳුරෙන් අඳුරටම මේ පිරිස යවති.. මනෝ විකාරයක් හටගත්තාම ඒක තමන්ගේ අවබෝධයක් ලෙස මුලා වීම මේ සිතේ ස්වභාවයකි. එක ඇන්ටියෙක් ඇවිත් දිනක් ස්වාමින් වහන්සේලාට තමන් සෝතාපන්න බව අඬාගෙන කීවාය. ඇයට ඇති මඟඵලයක් නැති බව ඇයට වටහා දෙන්නට උත්සාහ කළ විට ඇයට අම්බානක මල පැන්නාය.. ඒ විකාරයෙන් ඈ ගොඩ ගන්නට බැරි බව තේරුම්ගත් ස්වාමින් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටියේය.. ඈ වැඳ වැටෙමින් කීවේ තමන් ලැබූ අවබෝධය අනිත් අයටත් දෙන්නට අවස්ථාව දෙන ලෙසය.. වෙන තැනකට ගියානම් අර ඇන්ටීටද මයික් එකක් ලැබෙනු ඇත.. අනිත් ඇන්ටිලාටද මඟඵල විකාර ඇති වී ඩෙඟා නටනු ඇත..

එක්තරා භාවනා මධ්‍යස්ථානයක කොනේ ඇති වැසිකිලියේ පිටිපස්සට වී ඇතැම් සීයලා බීඩි සුරුට්ටු උරති. දිනක් සීයෙක් බීඩිය පත්තු කළ සැණින් එක ස්වාමින් වහන්සේ නමක් එතැනට වැඩ “සීයේ මොකද කරන්නේ” යැයි ඇසූ විට සීයාට තරු පෙණුණි බීඩිය කෙසෙල් පඳුරු උඩින් වත්තට වීසි විය.. බීඩි නොබොන ලෙස අවවාද කළ ස්වාමින් වහන්සේ පිටත්ව ගිය සේක. එතැන හැමෝම කථා වෙන්නට පටන්ගත්තේ ස්වාමින් වහන්සේ දිව්‍ය චක්කුවෙන් සීයා බීඩිය පත්තු කරන හැටි දැක වැඩිය බවයි… හිතවත් කම නිසා මම ගොස් ස්වාමින් වහන්සේගෙන් ඇසූ විට ස්වාමින් වහන්සේ වදාළේ තමන් වහන්සේට ඇති දිව්‍ය චක්කුවක් නැති බවත්, එසේ හැකියාවක් ඇති උත්තමයෙක් වේනම් මේ සීයලා බීඩි පත්තු කරන ඒවා බල බලා සිටීම වැනි මොට්ට ක්‍රියා නොකරන බවයි. ඒ නිසා මේ මිනිස්සුන්ගේ මනෝ විකාර වලට සවන් යොමු නොකර අත්භූත දේවල් වලින් තමන්ගේ දියුණුව මනින ඒවායෙන් මිදෙන්නට නුවණ පාවිචි කරත්වා..

තමන් තුළ ධර්මය දියුණු වනවාද යන්න කෙසේ දැන ගත හැකිද යන්න ගැන අපි පසුව කථා කරමු.