සැරියුත්, මුගලන්, ආනන්ද, මහා කාශ්‍යප, උපාලි වන් ගෞතම සම්බුදු ලයෙහි උපන් මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන උතුම් සඟ පරපුර විසින් දෙව් මිනිස් ලෝ සතුන් වෙත මහා අනුකම්පාවෙන් හා කරුණාවෙන්ම යුතුව එක් ස්වරයක් හෝ වෙනස් නොකොට නිකැළැල් ශ්‍රී සද්ධර්මය මනාව සුරක්ෂිත කර තැබූහ.

සිංහලද්වීපයට වැඩම වීමට පෙර දඹදිව් තලයේදී ඇතැම් දුස්සීල භික්ෂූන්ගෙන් අපවිත්‍රවීමට නොදී සුපේෂල ශික්ෂාකාමී මහ රහතන් වහන්සේලා තුළින් තෙවරක්ම සදහම් සංගීතියෙන් පාරිශුද්ධිය ලැබූ, ඉක්බිති අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ නිකෙළෙස් මුව මඬලින් පැණ නැඟි ආශ්චර්‍යවත් නිර්මල බුද්ධ වචන ගංගාව ලෝ සත දුක් දොම්නස් නිවා දමමින් තවමත් විරාජමානව ගලා බසිති.

තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සම්බුදු සසුන ස්ථාපිත වූ පෙරදිග ධර්ම භාණ්ඩාගාරය වූ සිංහලද්වීපය තුළ සිංහල භික්ෂු පරපුර අතට එලෙස වැඩම වූ ආශ්චර්‍යවත් ශ්‍රී සද්ධර්මය කිසිදු පුද්ගලික අර්ථකතනයකින් හෝ අලුතින් කරුණු එකතු කිරීමකින් හෝ තොරව වනපොත් කරමින් ගෞරවයෙන් යුතුව රැගෙන පැමිණියද වළගම්බා රජසමයේ ඇති වූ දරුණු බැමිණිතියා මහා සාගතය හේතුවෙන් මිහිතලය කම්පා කරවමින් ජීවමාන ධර්ම භාණ්ඩාගර වූ රහතන්වහන්සේ හා සෙසු භික්ෂූන් වහන්සේලා දස දහස් ගණනින් පිරිනිවන් පාන්නටත් අපවත් වන්නටත් වූහ. ඒ ස්වභාවික විපත්තිය හමුවේ සම්බුදු සසුන රැක ගනු වස් භික්ෂූන් වහන්සේලා පිරිසක් දඹදිව බලා වැඩිය අතර ලක්දෙරණමත පිරිසක් වැඩ සිටියහ. වියරු වැටුණු මිනිසුන් හා සතුන්ගෙන් බේරීම පිණිස හුදෙකලා වෙරළ තීරයන්වල ශේෂව තිබූ වැටකෙයියා පඳුරුවල ඉස්ම වළඳමින් අප්‍රාණික සිරුරු බිම ඇද වැටුණද සිහිය මනාව පවත්වා ගනිමින් අසූ හාර දහසක් වූ ධර්මස්කන්ධය යළි යළිත් සජ්ඣායනය කළහ. සොළස් වසක් ඉක්බිති සාගතය නිම වූ පසු යළිත් දඹදිවෙන් ලක්දිවට වැඩම කළ සඟ පිරිස හා දිවි කැපකොට ලක්දිව වැඩසිටි සඟ පිරිස එක්ව ධර්ම විනය සජ්ඣායනය කළහ. මහා ආශ්චර්‍යයකි. මෙය තථාගත අධිෂ්ඨානයෙහි බලමහිමයමයි. ඒ උතුම් සද්ධර්මය හා විනය එක් ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින් වෙනසක් නොවීය. අනාගත ව්‍යසනයන්ගෙන් ධර්ම විනය මනාව සුරක්ෂිත කර ගැනීම පිණිස වළගම්බා නිරිඳුන්ගේ අනුග්‍රහයෙන් රහතන් වහන්සේලාගේ සුරතින් තල්පත් මතට වැඩම කර වූයේ ඒ නිකැළැස් ආශ්චර්‍ය්මත් ශ්‍රී සද්ධර්ම රත්නයමයි.

මාරාවේෂ වූ විවිධ මිසදිටු පරසතුරු උපද්‍රව හමුවේ පවා මහ රහත් භික්ෂූ හදවත් තුළ මනාව සුරක්ෂිත වෙමින් ජීවමානව වැඩ විසූ ශ්‍රී සද්ධර්ම මාණික්‍ය රත්නය තුළ මාර්ග ඵල ලාභීන් බිහි කරන ජීව ගුණය අදටත් නොඅඩුව තිබේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
” එක් සදහම් පදයක් තුළ (ලොවටම අධිපතිභාවය දරණ) මාරයා පවා පරදවන රහතන් වහන්සේලා දහසක් වැඩ වෙසෙති”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තථාගත සද්ධර්මය තුළ හිස් ප්‍රලාප, අසැබි වදන් හෝ අප්‍රයෝජණවත් වූ එකදු ස්වරයක් මාත්‍රාවක් නැත. තථාගත ශ්‍රී සද්ධර්මය යනු ස්වාක්ඛාත ගුණයෙන් පරිපූර්ණ වූ, එනම් මනා කොට දේශණා කළා වූ එකම දහම බැවින් එහි අලුතින් යමක් පැණවීමට හෝ පවතින යම් කරුණක් සංශෝධනය කිරීමට හෝ ඉවත්කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතිසේම එසේ කිරීමට සමත් කිසිවෙකු මේ විශ්වය තුළ නොමැත. එමෙන්ම සැඟවුණු දහම් පද විවරණ, තුන් තේරවිලි, නොතේරෙණ හෝ හාස්‍යෝත්පාදක නිරුක්තීන් ධර්මය තුළ නැත.

එහෙත් අවාසනාවක මහත, ඔහ් අල්මාරි තුළ අගුළු දමා තිබූ නිසාවෙන් වැසී ගොස් තිබුණද කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා විසින් යළිත් ඒ නිර්මල බුද්ධ භාෂිතය ලොවට ඒ අයුරින්ම විවර කර යළිත් බුද්ධ ශාසනය බබළමින් තිබෙන සමයක අධර්මකාමී හික්ෂූන් හා ගිහි පිරිසක් විසින් ඒ උතුම් සද්ධර්මයට බරපතළ හානියක් සිදු කරමින් සිටිති. නිරපේක්ෂකත්වයේ මඟ, ධර්මයයිඔබයි, අරිය අසංඛතය, නිසල විල ආදී ච්ත්තාකර්ෂණීය වචන හරහා නුනුවණ ජනීජනයා සැළකිය යුතු ප්‍රමාණයක් මුළාවට පත් කරමින් යන මෙම අස්වාභාවික විකෘතියේ නියමුවා මාරයාගේ මිනිස් නියෝජිතයෙකු බඳු වූ වහරක අභයරතනාලංකාර නම් පාපී භික්ෂුවයි.

ඔහු විසින් උමතුවෙන් මෙන් දෙසා බාන ලද විකෘති නිරුක්තීන් හා අධර්මවාදී දේශණා ගුරුකොට ගනිමින් ඔහුගේ අතවැසියන් ඔහුගේ අරමුණ මනාව ඉටුකරමින් සිටිති.

සැබැවින්ම වහරක භික්ෂුවගේ නිරුක්ති ඉතා හාස්‍යජනකය. ඔහු විසින් සතුන්ගේ නම්වල අර්ථය විග්‍රහ කිරීම අසන සිහිබුද්ධිය ඇත්තෙකුට නම් සිනහ නොවී සිටීමට අපහසුය. හාවා, මුවා, වඳුරා, හැකරැල්ලා, ආදී සත්වයන් වී උපදින අයුරු හරිම හාස්‍යජනකය.

එම භික්ෂුවට අනුව
හා හා වා වා ( දෙමළෙන් වා වා යනු එන්න එන්න) කියූවිට ළඟට එන නිසා හාවා වී උපදී. “රැල්ලට හැක හැක ගානා” පුද්ගලයෙකු හැකරැල්ලෙකුද, ගෙම්බර් දානා පුද්ගලයෙකු ගෙම්බෙකු වීද, වාන් ( බැම්ම) දුරු නොකළ නිසා වඳුරාද, රිසි සේ “ලොවන” නිසා රිළවා ද ලෙස උපදී.

මෙලෙස සත්වයින්ගේ නම්වලට හෝ වෙනත් ධර්මයට අදාළ නොවන ඕනෑම කරුණකට කිනම් වූ හිස් අර්ථකතනයක් දුන්නද අපට කම් නැත.
එහෙත් ඉවසා බලා සිටිය නොහැකි භයානකම දේ නම් ඔහු එතැනින් නොනැවතී උතුම් ධර්ම කරුණුවලට අත තැබීමයි.

මේ හිස් මිනිසා විසින් ත්‍රිලක්ෂණය, චතුරාර්‍ය සත්‍යය යන ගාම්භීර උතුම් ධර්ම කරුණුවල පටන් තෙරුවන් ගුණ දක්වා සදහම් වදන්වලට අමනෝඥ විකෘති නිරුක්තීන් පනවමින් කෙළසා දැමීය.

මොහුට අනුව යෝනිසෝමනසිකාරය යනු ” “යෝනි+හිස+මනසිකාරය” හෙවත් උපදින තැන සිහිකිරීමයි
පටිච්ඡසමුප්පාදය යනු “පටි+ඉච්ච+සමුප්පාද හෙවත් ” කැමති තැන්වලට හිත බැඳීයාමයි.

මෙය සිනහ උපදින කරුණක්වුවද අපට සිනාසීමට වඩා සංවේගවියයුතු හේතූන් රාශියක් තිබේ. වහරක හා වළස්මුල්ලේ හිමි නමින් සිටින භික්ෂූන් මේ පාපී නිරුක්ති හමුවේ තමාත් සමඟ තව විශාල පිරිසකට නිවන් මඟ අහුරා නිරයටද මඟ සළසාගෙන අවසන්ය.
වහරක නිරුක්තීන් අනුව කල්පනා කළ විට වහරක නිකායේ සැබෑම අර්ථය නම්: “ව+ හර+ක යනු වා හෙවත් එන්න හරය කා දමන්න ” යන්නයි. සැබැවින්ම ශාසන භක්ෂක වූ ඔවුන්ගේ මූලික අරමුණ සද්ධර්මය නම් වූ මියුරු ඵල වැලින් බොහෝ සතුන්ගේ සසර කුසගිනි නිවා දැමූ, සසර ගමන සුවසේ නිමා කරලීමට අමා ඔසු සැපැයූ ගෞතම සම්බුදු සසුන නම් වූ මහා වනස්පතිඳුන්ගේ අරටුව සිදුරු කර එය වනසා දැමීමයි.

බොහෝ මිනිසුන්ට අයපහතක් සළසමින් ඔහුගේ අතවැසි දාසයින් වූ වළස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, හඳපාන්ගොඩ නිවාතතාප ආදී භික්ෂූන් විසින් පෙරටත් වඩා මනා සංවිධානාත්මකව, ගෞතම සම්බුදු සසුනේ චිරස්ථිතියට අසතුටු විවිධ මාරාවේශ වූ අමනුෂ්‍ය බලවේගවලද මනා උපකාරයෙන් ශක්තිමත්ව බොහෝ අන්ධබාල පෘත්ග්ජන පිරිසක් සිය ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වී ඇත. ඒ වැඩිහිටි හා තරුණ පිරිසගෙන් මේ විනාශය අවසන් වන්නේ නම් හිත හදාගෙන නිහඬව සිටිය හැක. එහෙත් එය එසේ නවතින්නක් නොවන බව පැහැදිළිය. අධර්මයෙන් ධර්මය වෙන්කරගත නොහැකි බොහෝ පිරිසක් මාරයාගේ කෙමණක් වූ වහරක කෙමනට හසුවී සිය නොදරුවන් පවා ඊට පමුණුවති. යම් හෙයකින් අපගේ පුනර්භවය යළිත් මේ දෙරණ මත සිදු වුවහොත් එදාට අපට ඇසෙන්නේ මේ අධර්මයම විය හැක. මෙය අප සැමගේම සසර ගමනට දැඩි හානියක් කළ හැකි
එබැවින් අපි වහ වහා මේ අධර්මකාමී මිසදිටු බලවේගයට එරෙහිව නැඟී සිටිය යුතුමය. මෙය කළගුණ දත් ශාසන ස්ථිතිකාමී අප සැමගේම වගකීමක් හා යුතුකමකි !

තෙරුවන් සරණයි!