ලක්ෂ ගණනින්
අරිහතුන් වහන්සේලා 
මේ මිහිමත පහළ වේවා !!!
මෙහෙම කිය කිය පිරිසක් එකතු වෙලා අධිෂ්ඨාන කරාම රහතන් වහන්සේලා පහල වෙයිද ???

සංවිධානාත්මකව විශාල මාධ්‍ය අනුග්‍රහයක් ඇතිව පූජා සංවිධානය කර ඔබටත් නොදැනෙන්න මිත්‍යා දෘෂ්ටියක පිහිටවන වහරක නඩේම තවත් ශාඛාවක් බිහි වී ඇත. තම වසඟයේ පවත්වන්න බැරි වූ අනාත්මතාවය පිළිබඳව වූ උතුම් බුදු වදන පසෙකලා ආත්ම දෘෂ්ටියක පිහිටවීම පිණිස ප්‍රාර්ථනාවකින් ලොවට අරිහතුන් වහන්සේලා බිහිකිරීමට මෙම සංවිධානය ඔබව පොළඹවයි.

ත්‍රිපිටකයේ ථේර ගාථා ථේරී ගාථා වලින් පවා අපට ආදර්ශයක් දෙනුයේ අප විසින් කරගන්නා වූ කුසලය නිවන පිණිස උපකාර වූවා මිසක ප්‍රාර්ථනා කොට අන් අයව නිවන් දැක්වීමට නොහැකි බවයි. ඔබ හොඳින් මතක තබාගන්නා ධම්මානුධම්ම පටිපදාවෙන් තොරව ඔබේ උත්සහයක් වීර්‍යයක් නැතිව ඔබට හෝ වෙන කාට හෝ ප්‍රාර්ථානවකින් රහතන් වහන්සේලා බිහිකළ නොහැකි බව.

ධර්මයේ ඕනෑ තරම් උපහැරණ තිබේ. හාල් ලිපේ තබා බත ඉදේවා බත ඉදේවා කියා ප්‍රාර්ථනා කර කර බලා සිටියාට බත් ඉදෙන්නේ නැත. ඒ සඳහා ලිප ගිනි දැල්විය යුතුය. බිත්තර දමා කිකිළිය පැටව් බිහිවේවා බිහිවේවා යැයි ප්‍රාර්ථනා කර කර පැත්තකට වී සිටියොත් පැටව් බිහිවන්නේ නැත. කිකිළිය බිත්තර රැකිය යුතුය. එනිසා ඔබව සියුම් ලෙස ආත්ම දෘෂ්ටියකට ඇද දමන මේ පිරිසේම පූජා සංවිධානය කරන ඒ නිසල විල පදනම ගැනද දැනුවත් වන්න. ප්‍රාර්ථනාවකින් රහතුන් වහන්සේලා බිහිකළ හැකි නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට බුද්ධ කෘත්‍යක් කිරීමට අවැසි නැත. ධර්මය දේශනා කිරීමට අවැසි නැත. උන් වහන්සේ තරම් අසීමිත චිත්ත දියුණුවකින් හෙබි කෙනෙක් මේ තුන් ලෝකයේම නැත. උන් වහන්සේට එකවිටම තම ශාසනය තුළ ප්‍රාර්ථනාවකින් රහතන් වහන්සේලා එසේනම් බිහිකළ හැකිව තිබුණි. එය එසේ නොවේ. ඔබේ නිවන් මාර්ගය උදෙසා ඔබ උත්සහයෙන් වීර්යෙන් මේ දහම් මඟ ප්‍රගුණ කළ යුතුය. කුසල් රැස් කළ යුතුය.

තෙරුවන් සරණයි!

විශේෂ පුන්‍යයානුමෝදනාව –

මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

වීඩියෝව උපුටා ගැනීම – ශ්‍රද්ධා නාලිකාවේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලදි. එම නාළිකාවටත් අපමණ පුණ්‍යානුමෝදනා.