පින්කමක් එන්න ඉන්බොක්ස්

//පින්කමක් එන්න ඉන්බොක්ස්

පින්කමක් එන්න ඉන්බොක්ස්

අද අප ජීවත්වන සමාජය දිනෙන් දින පිරිහීයමින් පවතී. එසේ පිරිහෙමින් යන සමාජ රටාව තුළ හොර මැරකම්, වංචා, දූෂණ ආදී විවිධාකර දුරාචාර සුලභය. සංකීර්ණ විෂමාචාර සමාජ රටාව තුළ කෙනෙකුන් රවටා මුදල් වංචාකිරීමේ ක්රමෝපායන් ද විවිධයි. ඊට හේතුව සතරවන සිල්පදය ආරක්ෂා නොකරන පිරිස් බහුල බව ඒ සමාජයම දැනුවත් බැවිනි. ඉතින් ඒ දැනුවත් සමාජය රැවටීමට නම් විවිධ උපක්රම වංචනිකයා සට කපටව භාවිතා කරන්න සිදුවෙනවා. ඇතැම්විට බස් රථයට යාචකයෙකුගේ වේශයෙන් ගොඩවෙන සමහර වංචනිකයන්ගේ ද ගෙදරට ගෙනයන හාල් පහේ මල්ලක් මහ මඟ ඉරී විසිරී දුක් බරව ඉන්නා පුද්ගලයෙකුගේ ද සිට ජැන්ඩියට ඇඳන් පුද්ගලයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචාකරන පුද්ගලයා දක්වාම සතු පොදු සාධකය වනුයේ බොරු මවාපෑමය. මේ බොරු මවාපෑම් විටෙක ඔබගේ අනුකම්පාව, දයාව, කරුණාව ආදිය පමණක්ම නොව ඔබට ලබාදෙන්නට පොරොන්දුවන නම්බුනාම, තානාන්තර, රැකියා, පාසල් ආදී ලාභසත්කාර ද ඉලක්කකොට පවතිනවා.

ඔයාලට අද, මුදල් වංචාකිරීම උදෙසා අපූරු උපක්රමයක් භාවිතාකරන පුද්ගලයන් පිරිසක් ගැනයි මේ කියන්න සැරසෙන්නේ. මේ ගැන දැනුවත්වීම එම වංචනිකයන්ට හසුනොවීම පිනිස නිසැක පිටුවහලක් වේවි.

අමුතුවෙන් කියන්න අවශ්ය නෑනේ. මාතෘකාව දුටු පමණින්ම මේ කියන්න සැරසෙන්නේ කුමන අන්දමේ පිරිසක් ගැන ද යන්න දැනටමත් ඔබ දැනුවත්ව ඇතිවාට සැකයක් නැත. ඔව්, මේ කියන්න යන පිරිස, මුදල් වංචා කිරීම සඳහා දඩමීමා කරගන්නේ පුණ්ය කටයුතු උදෙසා ඔබ තුළ ඇති රුචිකත්වයයි. මේ සඳහා මේ වංචනිකයන් යොදාගන්නා සියුම් උපායශීලිත්වය කලක් යනතෙක් ම ඔබට හඳුනාගැනීමට නම් පහසු නැත. මන්ද යත් මේ වංචනිකයන් තමා සතු සමාජජාල ගිණුම බොහෝවිට ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් ධර්මයට ලැදි ශීලයක් රකින නිතර පින්කම්වලට සහභාගීවන සහ ඒවා සංවිධානය කරන පුද්ගලයෙකු සේ කරන මවාපෑම අතිසූක්ෂම බැවිනි. නිතර ෆේස් බුක් ස්ටේටස් දමා මහා සෑයන් වන්දනා කරන්ට පිටත්වන බව හෝ වෙනත් පින්කමකට පිටත්වන බව ලොවටම පෙන්වයි. මෙය දකින බොහෝ පිරිසක් සිතන්නේ මොවුන් මහා පින්කරගන්නා සත්යවාදීන් බවයි. නමුත් මෙයත් වංචනිකයන් යොදාගන්නා කූට උපායේම තවත් පැතිකඩක් පමණයි. පිනට හිතැති කෙනෙකුන් සේ ප්රතිරූපයක් ගොඩනගාගැනීමට එවැනි සමාජ ජාලා දැනුවත්කරන පණිවිඩ ඔවුන් භාවිතාකරනු ලබනවා.

ඇතැමෙක් තමන්ගේ මුහුණු පොතේ ධර්ම කරුණු ද අන් අය කරනු ලබන පින්කමකට සහභාගී වී ඒවායේ පින්තූරද පළකරති. උදේට එක ධර්ම කරුණක් හෝ ගාථාවක් ද සවසට තව ධර්ම කරුණකුත් වශයෙන් මුහුණු පොතේ ගෲප් හදාගෙන පළකරන අය සිටී. කෙමෙන් කෙමෙන් එම ගෲප් එක, දෙක වී තුන හතර වී ක්රමක්රමයෙන් වර්ධනයවෙයි. බොහෝ ධර්මකාමී පිරිස් ඉලක්කකරගනිමින් ඒ අයව මෙම ගෲප්වලට එකතුකරගනී. මොවුන් ලබාදෙන දහම් පණිවිඩ භාග්යවතුන් වහන්සේගේ ශ්රී සද්ධර්මයෙන් උපුටාගන්නා බැවින් ඉන් අනෙක් පිරිසට ප්රයෝජනයක් ලැබෙන බව සත්යයකි. නමුත් මේ වංචනිකයන්ට එය තමන්ගේ වංචාව නැමැති උගුලේ ඇමක් පමණක්මය. මොකද වංචනිකයා සම්බුදු රජාණන් වහන්සේගේ දහම් අවවාදයන්ට හෝ ගුරු ඔවදන්වලට කිසිසේත්ම අවනත නැති බැවිනි. වෙනත් තැනකින් කොපි පේස්ට් කර දමන මෙවැනි දහම් පණිවිඩ වංචනකියා සැබෑ ලෙසම තමන්ගේ ජීවිතයට ගලපාගන්නේ නැති බැවින් වංචාවන් දිගින් දිගටම සිදුකරයි.

බොහෝ විට මෙම වංචනිකයන් ඉලක්ක කරගන්නේ මෙරට මෙන්ම විදේශීයවද දහම් ප්රචාරය මැනැවින් සිදුකරන සදහම් ලබාදෙන ස්ථානයන් වටා එක් රොක් වී සිටින සැදැහැතියන්වය. ඒ අය අතරිනුත් මූල්යම වශයෙන් හොඳ වේතනයක් ලබන රැකියාවන් කරන දොස්තර, ඉංජිනේරුවන් ඉලක්කකරද පණිවිඩ වෙනත් ආකාරයකින් විද්වතුන්ගේ එකමුතුවක් ලෙස හුවා දක්වා ලබාදෙයි. එම සදහම් ලබාදෙන ස්ථානයන්හි නිතර නිතර ගැවසෙමින් තමාත් ඒ ඒ පින්කම්වලට පුද්ගලිකව දායකවෙන බව පෙන්වීමට නිතර නිතර පින්තූර පළකරයි. මෙසේ කලක් යද්දී මේ වංචනිකයාව, අනෙක් පිරිසට පින්වතෙකු එසේත් නැත්නම් තමාවද පිනට නැඹුරුකරන කලණ මිතුරෙකු සේ හැඟෙන්නටගනී. මෙන්න මේ අවස්ථාව එළඹුණුවිට තමයි වංචනිකයා තමාගේ කූට උපක්රමය දියත්කරන්නේ.

ඒ අදාල සදහම් ලබාදෙන ස්ථානයේ අසවල් පළාතේ අසවල් පින්කම වෙනුවෙන් දායකවෙන්න අපටත් දුර්ලභව අවස්ථාවක් උදාවුණා කියමින් උපාසක වේශයෙන් ඉන්නා මේ වංචනික උපාසක චණ්ඩාලයින් පළමුව ඇමක් ලබාදෙයි. කලක් තිස්සේ මේ උපාසක චණ්ඩාලයාගේ ව්යාජ ධර්මකාමී රංගනයට රැවටුණු සැදැහැති පිරිස අනේ සාදූ සාදූ අපටත් ඒ පින්කමට දායකවෙන්න අවස්ථාවක් තියෙනවාද ඒ කොහොමද යැයි නිරායාසයෙන්ම අසනු ලබයි. මෙන්න මේ අවස්ථාවේදී තමයි වංචනිකයා පින්කම තමාට පුද්ගලිකව ලැබිච්ච අතිදුර්ලභ අවස්ථාවක් බවත් ප්රසිද්ධියේ මේ ගැන ප්රචාරය නොකරන ලෙසත් දැනගන්නට අවැසි නම් ඉන්බොක්ස් එන ලෙසත් පවසන්නේ.

ඉන්බොක්ස් පැමිණෙන අයට බොහෝ විට වෙන කෙනෙකුන් කරන ලද එම පිනකමේම පින්තූරයක් හෝ දායකත්වයක් දැරූ මුදලක රිසීට්පතක් තමන්ගේ දායකත්වයක් ලෙස හැඟෙන පරිදි ඉදිරිපත්කර හැකි අයුරින් දායකවෙන්න යයි පවසයි. මේ කූට ක්රියාවේ ඊලඟ පියවර වනුයේ තමාගේ පුද්ගලික ගිණුමක් පින්කමට මුදල් බැරකිරීම සඳහා මේ වංචනිකයන් ලබාදීමයි. ගෲප් පණිවිඩ ලෙසද පුද්ගලික පණිවිඩ ලෙසද මෙසේ පින්කම ගැන පවසා තමන්ගේ ගිණුමකට මුදල් බැරකරගනී. සැකයක් මතු නොවීම පිනිස මුදල් තැන්පත් කල අයට තමන් හට රිසීට්පත වෙනම මැසේජ් කරන ලෙස මුහුණුපොතේ ගෲප් තුළ පළකරයි. කිසිවක් නොදත් සැදැහැතියෝ බොහෝ විට විස්දෙස්ගත අය පවා මෙවැනි වංචනිකයන්ට හසුවී බොහෝ මුදල් එම වංචනිකයන්ගේ පුද්ගලික ගිණුම්වලට බැරකරති.

කෙසේ නමුදු මේ වංචනිකයා ගෙනහැර දැක් වූ පින්කම වෙනුවෙන් කොපමණ පිරිසක් කොපමණ මුදලක් තැන්පත්කරනු ලැබුවාද යන්න කිසිවෙකු දන්නේ නැත. දන්නේ තම තමන් පුද්ගලිකව දුන් මුදල පමණි. බොහෝ විට මේ වංචනිකයන් මුදල් ලබාදුන් පුද්ගලයන්ගේ දැනුවත්වීම පිනිස, මීට පෙර වෙන කෙනෙකුන් විසින් පුද්ගලිකව කරන ලද එවැනිම වූ පින්කමක පින්තූර කිහිපයක් පලකරනු ලබයි. ඉන්පසුව එම පින්තූර තමන්ට ලැබුණු මුදල්වලින් ඔබ අප සැම එකතුවී කරගන්නට යෙදුනා වූ පින්කමෙහි පින්තූර බවට ඒත්තුගන්වයි. එම පින් අනුමෝදන්වන ලෙස දිරිගන්වයි. ඉදිරියේදීද තවතවත් පින්කම් කරමු යැයි පවසා පිනද බුද්ධ වචනය ඉස්මතුකොට වර්ණනා කොට වංචාව සුවසේ දිගටම කරගෙන යන එවන් පුද්ගලයන් ඇතැම්විට අතටම හසුවී එක වරක් නොව කිහිපවරක්ම මහා සඟරුවනේ දැඩි අවවාදයට ලක් වී ඇත. මේ උපාසක චණ්ඩාලයෝ පින්කම් සිදුකරන අදාල සදහම් ලබාදෙන ස්ථානයන් හි පින්වත් ස්වාමීන් වහන්සේලාගේ හෝ ගුරු ඔවදන් කිසිසේත් මායිම් නොකරති. වංචාවන් හසු වූ අවස්ථාවන් කිහිපයකදීම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දැඩි අවවාදයන්ට ලක් වූ මොවුන් වරද පිළිගෙන සමාවගත්තද ඒ වංචාවන් නොකඩවා සිදුකිරීම මොවුන් තුල ඇති සටකපට බව මනාවට විදහාදක්වයි.

මහා සඟරුවනේ අවවාදයන් පවා කනකට නොගන්නා මේ වංචනිකයන් එකම වැරැද්ද තමන්ගේ බඩ ගෝස්තරය උදෙසා බොහෝ සැදැහැතියන් රවටමින් රිසි සේ කරගෙනයමින් සිටී. මේ වංචනිකයන් ඔබ සමඟ කලණ මිතුරෙකු සේ නිතර නිතර මුහුණු පොතේ චැට්කරනවාට ද සැක නැත. ඔබේ වැරදි සාධාරණීකරනයකොට ඔබේ පැත්තගන්නවාට ද සැක නැත. මොකද මෙවැනි වංචනිකයන්ට අවශ්ය වන්නේ හැකිතාක් පිරිසක් තමන් වටා එක් රොක් කරගෙන ඒ අයගේ පිනට ලැදි කම දඩමීමාකරගෙන මුදල් වංචාකිරීමයි. මොවුන් විදෙස්ගත සැදැහැතියන් හටද පණිවිඩ යවා ඔවුන්වද ඉලක්ක කරයි. ඇතැම්විට මේ වංචනිකයන් වෙන කෙනෙක් කරන ලද පිනකට උදව්වට සහභාගී වී හෝ පින්තූරගෙන තමන් විසින් පුද්ගලිකව කරන ලද පින්කමක් සේ ඒත්තුයන පරිදි මුහුණුපොතේ පලකරයි. මෙවැනි දෑ ඔස්සේ මේ අමුතුම ආකාරයේ වංචාකාරී පුද්ගලයන්, ඔබව රැවටීමකට භාජනය කරයි. මොවුන්ගේ වංචාවන් හසුනොවීමට ඉතාම රහසිගතව සිදුකිරීමට වගබලාගනී. මොවුන්ගෙන් ඒ ඇයි ද යන්න විට විමසූ විට පින්කම් වලට බාධාකරන ඊරිසියාකරන පිරිස් ඉන්නා බව ඔබේ දුරකථන අංකය ඉල්ලා ඔබට දුරකථන ඇමතුමක් ලබාදී පවසාවි. ඉන්බොක්ස් එන ලෙස පවසා පසුව මොහුගේ වංචාව හසුවීම වැලක්වීම පිණිස දුරකථනයෙන් පමණක් පණිවිඩ හුවමාරු කරනු ඇත. බොහෝ විට ඒ දුරකථන ඇමතුමකින්ම පමණි.

එවැනි වංචනිකයන්ට මේ වනවිටත් ඔබ හසු වී තිබෙන්නට ද බැරි නැත. එසේ හසු වී නැත්නම් එවැන්නන් හඳුගැනීමට දුෂ්කර ඇයි ද යන්න ගැන ඔබට යම් පමණකට හෝ අවබෝධයක් මේ ලිපියෙන් ලැබෙනවාට සැක නැත. ධර්ම කරුණු මුවාවෙන් බැටළුහම් පොරවා සිටින වෘකයන් බඳු වූ මෙවැනි වංචනිකයන්ට හසුනොවන්නට නම් අදාල පින්කම පිළිබඳව එම පින්කම සංවිධානය කරනු ලබන අදාල ස්ථානයෙන්ම විමසීම් කරන්න. කිසිදු ආකාරයේ පුද්ගලයෙකුට හෝ පුද්ගල පිරිසකට එවැනි පින්කම් උදෙසා පුද්ගලිකව මුදල් එකතුකිරීමට කිසිසේත් අවස්ථාවක් ලබා දී නැතිබවට එවිට ඔබට නිසැකවම දැනගන්නට ලැබෙනු ඇත.

මේ වංචනික උපාසක චණ්ඩාලයන් ගැන නොදත් බොහෝ පිරිසක් වංචනිකයන් පිටතින් පෙන්වන මවාගත් ප්රතිරූපයට හසු වී ඇති බැවින් සැදැහැයෙන් පින්කමකට ලබාදෙන මුදල් සැබෑ ලෙසම අදාල පින්කමටම නොයෙදෙන බව දන්නේ නැත. වංචනිකයා තවත් කෙනෙකුන් කරන ලොකු පින්කමකට පුද්ගලිකව කොටස් කරුවෙකු බවට පත් වී සුළුවෙන් දායක වේ. එසේ දායක වී තමන් විසින් ලොකු පින්කමක් කරන්න අවස්ථාවක් දුර්ලභ අවස්ථාවක් සලසාගත් බව රහසිගතව පිරිස් දැනුවත් කරයි. ඉන්පසු පින්කමට අසවල් ප්රමාණයේ විශාල මුදලක් වැයවන බව පවසා පින වර්ණනා කරයි. රැවටෙන බොහෝ පිරිසක් විශාල වශයෙන් වංචනිකයාගේ පුද්ගලික ගිණුමකට මුදල් බැරකරයි. තම තමා පුද්ගලිකව දායක වූ මුදල හැරෙන්නට අනෙක් පිරිස්, හෝ විදේශගත මිතුරන් ලබාදුන් මුදල ගැන කිසිවෙක් දන්නේ ද නැත. මෙසේ තමන්ගේ පුද්ගලික ගිණුමකට මුදල් බැරකර ගන්නා වංචනිකයා කිසිම විනිවිද බවකින් තොරව වැඩකරයි. අසවලා අසවල් ප්රමාණයෙන් දායක වූ බවට හෝ එකතු වූ සැබෑම සම්පූර්ණ මුදල වංචනිකයාට හසු වූ කිසිවෙක් දන්නේ ද නැත. කලින් කී පරිදි මේ වංචනිකයා සුළු මුදලකින් කොටස් කරුවෙකු වූ විශාල පින්කමේ රිසීට් පතක් හෝ එහි ඡායාරූපයක් අදාල පින්කමට සැබවින්ම දායකත්වය දැරූ අයගෙන් ලබාගැනීමට අමතක නොකරයි. පසුව ඔබ අප සියළු දෙනා දායක වූ මුදලින් කළ පින්කම අනුමෝදන්වන්න යැයි පවසා එම රිසීට්පත් ඔහු සෑදූ චැට් ගෲප්වලට පළකරයි. ඔබ සිතන්නේ සියළුදෙනාම ඒකරාශී වූ මුදලින් මේ උපසාක චණ්ඩාලයා ඒ පින්කම කල බවයි. නමුත් මෙය අතිසූක්ෂම වංචාවේම අංගයක් බව ඔබට නොදැනීම හෝ නොවැටහීම පුදුමයට නම් කරුණක් නොවේ. ඔබ තරයේම සිහියෙන් මතක තබාගතයුතු කරුණකි. එනම් ඕනෑම තැනක පින්කමක් සිදු වේ නම් රහසිගතව සිදුවන පින්කම් නොමැති බව තරයේම දැනුවත් විය යුතුම කරුණකි.

කිසි සේත්ම සදහම් ලබාදෙන ස්ථානයන් හි පින්කමකට අදාල ස්ථානයන් විසින් ලබාදෙන ගිණුමකට හැරෙන්න වංචනිකයන්ගේ පුද්ගලික ගිණුමකට මුදල් බැර කිරීමෙන් වළකින්න. කලණ මිතුරු වෙස්ගෙන ඔබ අප අතර සැඟවී සිටින මෙවැන්නන් පින්කම් පෙන්වා ඉන්බොක්ස් එන ලෙස පවසා මුදල වංචාකිරීම ගැන දැනුවත් වී ඒ ගැන අවධානයෙන් සිටින්න. පින්කමකට ඔබට සහභාගීවන්න අවශ්ය නම් අදාල ස්ථානයන් හා ඍජුව සම්බන්ධවී වංචනිකටන්ට රැවටීමෙන් වළකින්න. එවැනි වංචනිකයන් ගැන දැනුවත් වී අදාල පින්කම් කරන ස්ථානයෙන් සැබෑ තොරතුරු විමසා දැනගෙන මේ වංචනිකයන් ගැන දැනුම්දීමටද කටයුතු කර තවෙකෙක් රැවටීමෙන් වළක්වාගන්න.

තෙරුවන් සරණයි!!!

උතුම් ශ්රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයට අප හා එක්වන්න. 👍
මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.