නිතර තිසරණය සිහිකරන්නට සොඳුරු විදිහක්…

//නිතර තිසරණය සිහිකරන්නට සොඳුරු විදිහක්…

නිතර තිසරණය සිහිකරන්නට සොඳුරු විදිහක්…

ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබීම තමයි අප කාගේත් අරමුණ වන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබෙන්නේත්, උපාසක භාවය ලැබෙන්නේත් උතුම් තිසරණය සමාදන් වීමෙන්. ඉතින් සමාදන් වන සීලය ආරක්ෂා කර ගැනීම අද කාලේ අතිශයින් ම දුෂ්කර දෙයක් වෙලා. හැම පැත්තෙන්ම තිසරණයට හානි වෙන්න ම යි පරිසරය සැකසී තිබෙන්නේ. මේ අතර කෙනෙක් බොහොම අමාරුවෙන් සමාදන් වූ තිසරණය ආරක්ෂා කරගන්ට වෑයමක යෙදෙනවා. තිසරණ සරණ ගිය බව, සරණ නිතර සිහි කළ යුතු බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. පංචසීලය කැඩෙනවා. ආයේ සමාදන් වෙන්න ඕනෑ බව බොහෝ දෙනා දන්නා නමුත් සරණ කිලිටි වීමට නො දී ආරක්ෂා කරගන්නා බවක් නම් පේන්නට නැහැ. මේ සඳහා ඔබට වැටහෙන උදාහරණ කථාවක් මෙසේයි.

ඡත්ත මානවක ගැන ඔබ අසා ඇති. ඡත්ත මානවක තිසරණ සරණ යාමට, සීලයක් සමාදන් වීමට පින් තිබුණ කෙනෙක්. ඔහු තම ආචාර්යවරයාට ගුරු පඬුරු රැගෙන යද්දී සොරුන් විසින් ඝාතනය කළා. ඊට පෙර භාග්‍යවතුන් වහන්සේ ඡත්ත මානවක තිසරණයේ පිහිටෙව්වා. පංචසීලය සමාදන් කෙරෙව්වා. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඡත්ත මානවකට වදාළා මේ ගාථා තුන සිහිකර කර යන්න කියලා. ඒ ගාථාවල තියෙන්නේ ‘තිසරණ සරණ යමි’ කියලා. හරි ම ලස්සන අර්ථයක් තියෙන්නේ. ඉතින් ඡත්ත මානවක ඒ සරණ ම සිහිකර කර යි මැරුණේ. හොරු ගහද්දිත් සරණ ම සිහි කළා. සරණ සිහිකර කර මැරිලා තව්තිසාවේ මහා බල සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුණා.

දිව්‍යරාජයෙක් විදිහට ඇවිදින් ධර්මය ඇහුවා. ධර්මය අවබෝධ කළා. බලන්න මිනිස් ලොවදී නොලැබුණ දේ දෙව්ලොවදී ලැබුණ අයුරු. හැබැයි ඡත්ත මානවකගේ තිබුණ විශේෂය තමයි සරණ සිහිකර කර සිටීම. මරණ වේදනාවේදී පවා. බලන්න සරණ සිහි කිරීමේ ආනිශංස.

තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, ශ්‍රී සද්ධර්මය සරණ ගිය බව, ආර්ය මහා සංඝරත්නය සරණ ගිය බව නිතර නිතර සිහිකිරීම විශේෂ හැකියාවක්. විශේෂ භාග්‍යයක්. සුගතියේ දොර විවර වන යතුර තමා අත දරා සිටීම වැනි දෙයක්. ඒ නිසා ඔබත් අද අද ම බලවත් ව තිසරණය සරණ යන්න. යනකොට, එනකොට, හිඳිනකොට, නිදනකොට සිව් ඉරියව්වේ ම සරණ සිහි කරන්න. සරණ සිහි කරන්න නිතර නිතර භාවිත කළ හැකි අපූරු ගාථා තුනක් තමයි ඒ ඡත්ත මානවක ගාථා. සිංහල අර්ථයන් එක්ක හොඳින් කට පාඩම් කර ගන්න. උදේ සවස නිතර සජ්ඣායනා කරන්න.

“යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගී
තං සුගතං සරණත්ථමුපේමි”

“කතා බස් කරන මනුස්ස වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කළ ශාක්‍යමුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයත් චතුරංග සමන්නාගත වීර්යයත් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ ව මම සරණ යමි.”

“රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි”

“ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරුකරනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවන ම යි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමි.”

“යත්ථ ච දින්න මහප්ඵලමාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසා තේ
සංඝමිමං සරණත්ථමුපේමි”

“යම් ආර්ය සඟ පිරිසකට දානයක් පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් උන්වහන්සේලා පාරිශුද්ධ යුගල හතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ උතුම් ආර්ය සංඝයා මම සරණ යමි.”
බලන්න මේ ගාථාවල කොපමණ සුන්දර අර්ථයක් ද තියෙන්නේ කියලා. පාසල් ඇරෙන වෙලාවේ ලවුඞ්ස්පීකර්වලින් ඇහුණ දේ අර්ථය කොච්චර මිහිරි ද? ඒ කාලේ මේ උතුම් ගාථා කවුරු හරි විහිළුවට ගත්තා නම්, සමච්චල් කළා නම්, විහිළු පද එකතු කළා නම්, අගෞරව කළා නම් ඒ අයට පව් රැස්වෙනවා. කාට හරි එසේ වී තිබේ නම් රුවන්වැලි මහා සෑ රජුන් අබියස ඡත්ත මානවක ගාථා සජ්ඣායනා කර කර ප්‍රදක්ෂිණා කරමින් භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ගන්න. නොඑසේ නම් ඒ අඳුරු සෙවණැලි අපේ ජීවිත වසාගනීවි.

ඡත්ත මානවක ගාථා ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයාගේ විමානයේ රැව් පිළිරැව් දෙනවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ව මුණගැහෙන්න පවා පැමිණියේ ඒ ගාථා සජ්ඣායනා කරමින්. එතකොට බලන්න මොනතරම් හිතට කා වැදිල ද ඒ සරණ. අද මිනිසුන් දේවාල ගැන හිත හිතා ඉන්නේ. ණය තුරුස්, කරදර ඕවා තමයි හිතේ තිබෙන්නේ. ඉතින් ඔය වෙලාවක මැරුණොත් කුමන ලෝකයක උපදීවි ද කියලා හිතන්නට වටිනවා.
ඒ වගේ ම අපූරු ධර්මයක් මේ කතාවේ තියෙනවා. ඒ තමයි අද බොහෝ දෙනා සරණ සිහි කරන්නේ, පිරිත් කියන්නේ, පින් කරන්නේ මේ ජීවිතේ කරදරවලින් ආරක්ෂාවක් පතාගෙන. භාවනාවට ගොස් පැමිණෙන කොට වාහනය හැපුණොත් භාවනාවේ බලයක් නැද්ද කියා සිතෙනවා. පින් කරන අයට කරදර එනකොට මේ පින් විපාක දෙන්නැද්දැයි සිතෙනවා. දැහැමි කෙනෙක් අඩු වයසින් මැරෙනකොට ඒක අසාමාන්‍ය අද්භූත දෙයක් විදිහටයි සලකන්නේ. ඒත් මේ බලන්න, ඡත්ත මානවක බුදුරජාණන් වහන්සේ දැකලා, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා, බුදුරජාණන් වහන්සේ ම උගන්වා වදාළ ගාථා තුනක් සජ්ඣායනා කර කර ගියේ. හොරු මොහු ව මැරුවානේ ටික වෙලාවකින්. අද කාලේ වුණා නම් මොනවා නො කියයි ද? එසේ නම් තිසරණය තියෙන්නේ කුමක් සඳහා ද?

තිසරණය තිබෙන්නේ පරලොව සුරක්ෂිත භාවය පිණිස යි. හුදෙක් මේ ලෝකයේ ලාභ ප්‍රයෝජන පිණිස නො වෙයි. ඡත්ත මානවක දෙව්ලොව ඉපදිලා භාග්‍යවතුන් වහන්සේ ළගට පැමිණිලා මට නැවත දහම් දෙසන්න යැයි කියා ඉල්ලා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේනමකගේ අවබෝධය ගැනයි වදාළේ. මනුලොවදී තිසරණය ගැන වදාළා. දෙව්ලොවදී නිවන ගැන වදාළා. අහෝ…! අපගේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුගේ ධර්මාවබෝධ ස්වභාවය, කාලය, ආකාරය දන්නා සේක්, අසිරිමත් ම යි.

තිසරණය නිසා මෙලොව සිදුවන යම් යම් හාස්කම් නැතුවා නො වෙයි. හුදෙක් අප එය පමණක් බලාපොරොත්තු විය යුතු නෑ. විමාන වත්ථුවෙන් ඡත්ත මානවක විමාන වත්ථුව කියවන්න. මනුලොවට හිරුමඬල යම් සේ ද තව්තිසාවට ඡත්ත මානවක දෙව් විමන ඒ වගේ කියනවා. තව්තිසාවේ දෙවිවරු කියනවා දෙවියෙක් වෙනවා නම් ඡත්ත මානවක වගේ වෙන්න ඕන කියලා. දෙවිවරු සාකච්ඡා කරනවා “මොන මොන පින් ද මේ ඡත්ත මානවක දෙවියා කර ගත්තේ, අපිත් ඒවා කර ගනිමු.” කියලා. බලන්න තිසරණය සිහිකර කර ජීවිතය අවසන් කිරීමේ පුණ්‍ය විපාක.

ඒ නිසා, ඔබටත් හැකි වුණොත් නිතර නිතර තිසරණය සිහි කරන්න, එය ඔබගේ විශේෂ හැකියාවක්. භාග්‍යයක්. තිසරණය සිහි කිරීම පුංචි දෙයක් කියලා හිතන්න එපා. මේ උතුම් බුද්ධ ශාසනයේ සුළු දෙයක් යැයි පෙනෙන දෙයක් නමුත් මහත් වූ විපාක සලසනවා. විශාල හස්තියෙක් වුණත් පුංචි හෙණ්ඩුවකින් දමනය වෙනවා. ඒ වගේ තිසරණය නිතර නිතර සිහි කිරීම ඒ කෙනා ව උතුම් අවබෝධයක් කරා රැගෙන යෑමට තරම් බලවත් දෙයක් වෙනවා. ඒකට ඡත්ත මානවක කතාව කදිම උදාහරණයක්. ඔබත් අද අද ම ඡත්ත මානවක ගාථා කටපාඩම් කරගන්න. තමාගේ සරණ නිතර සිහිකරන්න. ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ සලසා ගන්න. ඒ සඳහා ඔබට භාග්‍යය උදා වේවා…!

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි

උපුටාගැනීම – මහාමේඝ පුවත් සඟරාව

තෙරුවන් සරණයි!