” සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන්නේ බාහිරින් පැමිණෙන පර සතුරු උවදුරු නිසා නොව ශාසනය තුළම සද්ධර්ම ප්‍රතිරූපකයන් බිහි වීම හේතුවෙන්” බව භාග්‍යවතුන් වහන්සේ විසින් බුදු නුවණින් විමසා දේශනා කළ ඒ අසිරිමත් කරුණ ශාසන ඉතිහාසය තුළ යළි යළිත් සනාථ වෙමින් පවතී. නිඝන්ඨනාථ පුත්‍ර හෝ දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් දැරූ අනෙකුත් ශාස්තෘවරු සම්බුදු රජුන්ට හෝ කුඩා සාමනේර භික්ෂුවකට හෝ මතු නොව ශ්‍රී සද්ධර්ම රත්නයට හෝ අල්පමාත්‍ර වූ හානියක් සිදු කිරීමට අපොහොසත් වූහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සම්බුදු සසුන තුළම පැවිදි වී චීවර පාත්‍රා දරන ශ්‍රමණ වේශධාරී අසත්පුරුෂයින් හා ඔවුන්ගේ අනුගාමික වූ ගිහි උපාසක චණ්ඩාලයින් අතින්ම ශාසනය නම් වූ මහා වනස්පතිඳුන්ගේ අරටුව සිඳලෙමින් එහි විනාශය සිදුවීම නියත ධර්මතාවයකි.

සම්බුදු රජුන් ජීවමාන කාලයේදීම දේවදත්ත-කෝකාලික ආදී ප්‍රබල ශාසන භක්ෂකයින්ද, අවිනයවාදී ” ඡබ්බග්ගිය භික්ෂූන් ද , අධර්මවාදී ” සාති නම් භික්ෂුව” ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් මොහොතකට පසුව අභද්‍ර වදන් දෙසූ ” සුභද්‍ර නම් භික්ෂුව ” ද ආදී ලෙස සසුන තුළම බිහි වූ අසත්පුරුෂයින් විසින් එලෙස ශාසනය විනාශ කිරීම පිණිස නොයෙක් අයුරින් උත්සාහ දරන්නට විය.

සම්බුද්ධ ආඥාවේ මහිමයෙන් සම්බුදු සසුන ස්ථාවරව පිහිටුවුනු ලොව ධර්ම භාණ්ඩාගාරය වූ අපේ හෙළ දෙරණ මත දී පවා අධර්මවාදීන්ගෙන් සම්බුදු සසුන වෙත කලින් කලට එල්ල වූ දරුණු ප්‍රහාරවල නිමක් නැත. කාලිංග මාඝ වැනි දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්, අරිඨකීවෙන්ඩු වැනි දුෂ්ටයින් විසින් ආත්මවාදී හින්දු ආගමික සංකල්ප හා ජ්‍යෝතිෂ්‍යාදී මිසදිටූන් හෙළ ජන මනසට බලහත්කාරයෙන් ඇතුල් කරමින්ද, ඉන් පසු පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් බයිනෙත්තුවේ හා තුවක්කුවේ බලයෙන්ද සිංහල බෞද්ධ යම් පිරිසක් සිය මිසදිටු ග්‍රහණයට නතු කර ගත් හ. දාගැබ්, බෝධීන් හා වහන්සේ ඇතුළු වෙහෙර විහාර විනාශ කරමින්ද ශ්‍රී සද්ධර්මය වැඩ සිටි තල්පත් හා අනෙකුත් ලේඛණ ගිනිබත් කළහ. බුදු පුතුන් ම්ලේච්ඡ ලෙස අපවත් කරවූහ. එපමණක් නොව මිසදිටු ශාපයක ප්‍රතිඵලයක් ලෙස සැළකෙන බැමිණිතියාසාය වැනි ස්වභාවික ව්‍යසන හරහාද ජීවමාන ධර්ම භාණ්ඩාගාර බඳු වූ නිකෙලෙස් රහත් මුණිවරුන් දහස් ගණන් අපවත් වෙමින් ශාසනය ශෝධාපාලුවට ලක්වන්නට විය. අවසානයට සම්බුදු සසුන තුළ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාන්සේලාගේ යුගයක් බිහි වූ අතර ලක්දිව තුළ උපසම්පදාවද අතුරුදහන් විය. එහෙත් අපගේ වාසනාවකට සියම් දේශය හා බුරුම දේශය තුළ උපසම්පදාව මනාව සුරක්ෂිත වූ අතර එවැනි බාහිර උවදුරු කිසිවෙකින් සම්බුදු සසුන විනාශ කිරීමට නොහැකි වීම ආශ්චර්‍ය්යකි.

වර්තමානයේ පවා විවිධ අන්‍යාගමික බලවේග හා NGO ඩොලර්, යුරෝ කපුටන් විසින් මුදල් හා ආධාර ලබාදෙන මුවාවෙන් අන්‍යාගම්කරණය හරහා සම්බුදු සසුන වනසමින් සිටින අතරතුර ඊට වඩා අති දරුණු උවදුරක් සසුන තුළම බිහිවූ අසත්පුරුෂ පිරිස් විසින් සසුනට සිදු කරමින් සිටිති.

දශක කිහිපයකට පෙර විනයවර්ධකයින්, තාපස නිකායිකයින්, සායි බාබා ආදී අධර්මවාදී බලවේගවලට බුරුතු පිටින් රැවටෙමින් තිසරණ සරණ අහිමි කරගත් ඇතැම් මෝඩ සිංහල බෞද්ධ‍යෝ ඒවායින් කිසිදු පාඩමක් ඉගෙන නොගෙන යළි යළිත් රැවටෙමින් ක්ෂණ සම්පත්තිය අහිමි කර ගනිමින් සිටිති.
පෙර නොවූවාටත් වඩා අති භයානක වූ කඳ පණුවන් පිරිසක් හතු පිපෙන්නාක්මෙන් වර්තමානයේ ශාසනය තුළ බිහිවෙමින් ශාසනය නම් මහා වෘක්ෂය සිදුරු කරමින් සිටිති.

ත්‍රිපිටක සදහම් ග්‍රන්ථ රත්නයන් අල්මාරිතුළ කාවන්ගේ ආහාර බවට පත් වෙමින් බුදු දහම යනු හුදෙක් ජාතක කතා කිහිපයකට හා කවි බණ, කාලීන බණ, මා පිය වන්දනා, බෝධි පූජා ආදියට පමණක් සීමාවී තිබුණු යුගයක අපගේ මහත් වූ වාසනා මහිමයක් නිසාවෙන් අප අතර පහළ වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා කිහිප නමක් විසින් කාලයේ වැලිතලාවෙන් වැසී ගියා වූ ඒ නවාංග ශාස්තෘ ශාසනය යළිත් මතු කරගෙන ඉඩෝරය නිමකරමින් මහාමේඝයක් ඇති කර වියැළී ගිය හදවත් දහම් වර්ෂාවෙන් නහවාලමින්, සම්බුදු සසුන නම් වූ සුපුන් සඳ ඝනඳුර දුරලමින් බබුළුවාලමින් යළිත් සුගතියට හා නිවනට මඟ හෙළිකරමින් සිටින අතරතුර, අවාසනාවක මහත, ලොවට අධිපතිභාවය පතුරුවන පුද්ගලයාගේ කෙමණක් වූ අසත්පුරුෂයින් පිරිසක් ධර්මයේ වේශයෙන්ම පහළ වී භයානක මිත්‍යාවක් පතුරුවාලමින් සිටිති. සසුන වනසන ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙළෙහි මෙහෙයුම් ඒකකය වන වහරක නම් වූ අධර්මකාමී මූලස්ථානයේ අධිපතිව සිටි ධර්ම විකෘතියේ ගෝඩ් ෆාදර් වූ අභයරතනාලංකාර නම් කඳපණු තෙමේ බොහෝ දුක් විඳිමින් මෙලොවින් පිටමං වූයේ නිකන්ම නොව ඔහුටත් වඩා ප්‍රබල ලෙස ශාසනයට හානි කළ හැකි පවුකාර අනුගාමික කඳපණු කීටයන් රොත්තක්ම බිහි කරමිනි. ඒ අතරින් රතුපස්කැටියේ විමුක්තිරතන, හඳපාන්ගොඩ නිවාතාප, මාලබේ ධම්මවිමුක්තා ආදී අවශේෂ වහරක අනුගාමිකයින්ට වඩා බරපතළ ලෙස සදහම් විකෘතියට උපන් හපන්කම් ඇති “නිරය අපේක්ෂක මඟ” නම් අධර්මවාදී සංවිධානයේ නිර්මාතෘ වළස්මුල්ලේ අභය “සාමනේර භික්ෂුව මේ වනවිටත් දෙස් විදෙස් විශාල මෝඩ මිනිසුන් පිරිසක් තම මිත්‍යාවේ රැහැනට හසු කර ගනිමින් ඔවුන්හට නිරය වෙත මාර්ගය සකසා අවසන්ය.
ගිහිකල වෘත්තියෙන් ඉංජිනේරුවකු ලෙස ආඩම්බරයෙන් තමන්ව හුවා දක්වන මේ ව්‍යාජ භික්ෂුව විසින් වර්තමානයේ මේ ධර්මය අවබෝධ කළ හැක්කේ බයෝ, මැත්ස්, ඉංජිනියරින්, මෙඩිසින් ආදී විෂයයන් උගත් Technically sound පිරිසට පමණි, අනෙක් අයට ඉතිං කරන්න දෙයක් නෑ ” යනුවෙන් පවසමින් සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළින් ලබන ලෞකික උගත්කම අගයමින් සද්ධර්ම අවබෝධ කළ හැකි උතුම් ප්‍රඥාවට අභියෝග කරයි.

ගිහිකල පටන් අමනුෂ්‍ය බලවේග සමඟ යම් සබඳතා පැවැත්වූ කට්ටඬියෙකු බව පහත වීඩියෝව සාක්ෂියක් වන බැවින් මේ ශාසන හා ධර්ම විරෝධී පුද්ගලයා මෙහෙයවන්නේ අමනුෂ්‍ය බලවේගයකින් වන බව අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ දක්වන අදහස ඉතා නිවැරදිය.

https://www.youtube.com/watch?v=PW7itBiwS8o

පසුගිය කාලය පුරාවට මොහු විසින් කිසිදු සමාවක් දිය නොහැකි ධර්ම හා විනය විරෝධී මතවාද රාශියක් සිය අනුගාමිකයින්ට වදාරා ඔවුන්ට ශ්‍රද්ධා ලාභය අහිමි කරවීය.

ශීලයට ගරහමින් හා සිල්පදවලට විකෘති අර්ථ සපයමින් මිසදිටුව වපුරන මොහු විකාල භෝජණයෙන්ද නොවළකින අයෙකු බවද ප්‍රකට කරුණකි. භික්ෂූන්ට රන් රිදී මිල මුදල් කැප වස්තූන් ලෙස පවසන මොහු සාමනේර භික්ෂුවක් තබා පංචශීලය සුරකින ගිහියෙක් තරම්වත් සිල්පද නොරකින දුස්සීලයෙකුදෝ යැයි සාධාරණ සැකයක් අප තුළ ඇති වේ. නිවන් මඟෙහි පදනම වූ උතුම් ආර්‍යකාන්ත ශීලය පමණක් නොව සාමාන්‍ය ශීල ප්‍රතිපදාව පවා මිනිසුන්ට අහිමි කරවමින් නිවන් මඟත් සුගති මඟත් අහුරා දමමින් සිටී.

උතුම් සමාධිය උපදවා ගැනීම තුළින් පමණක් ළඟා විය හැකි විමුක්තිය වෙත වැටී ඇති නිවන් මඟ මත අතුරන ලද විල්ලුද පාවඩයක් බඳු වූ භාග්‍යවතුන් වහන්සේට නිර්වාණාවබෝධය පිණිස පවා මඟ සැළසූ උතුම් ” ආනාපාන සති භාවනා රත්නයට” ” හුළං භාවනාව” යනුවෙන් අපහාස කර “ආනාපාන යනු හුළං හා සම්බන්ධ දෙයක් නොව කුසල් ලබා ගැනීම හා අකුසල් බැහැර කිරීමයි” යනුවෙන් පාපිෂ්ට අදහසක් පවසමින් නොනැවතී ඔවුන් විසින් පමණක් හඳුන්වා දෙනු ලබන බව කියන ” ආර්‍ය දැහැන්” වැඩෙන ” බඩයන භාවනාවක්” උගන්වයි. එමෙන්ම මෛත්‍රී භාවනාව වෙනුවට හුදු විකෘතියක්ම වූ ” ආර්‍ය මෛත්‍රී භාවනාව ” නම් වූ අධර්මයක් තුළින් මිනිසුන්ට ව්‍යාජ “දැහැන්” ලබා දෙමින් සිටී. එය පුහුණු කළ අන්ධබාල අනුගාමිකයින් දවසින් දෙකෙන් ” ආර්‍ය දැහැන්” උපදවා ගන්නා අතර මහා සභාවක් ඉදිරියේ ඔවුන් පවසන බඩඑලිය යෑම, විවිධ වර්ණ සහිත විදුලි බුබුළු දැකීම ආදී ඔවුන්ගේ විස්තර අසා ” ඔබ සිටින්නේ පළමු, දෙවැනි, තෙවැනි ආදී ධ්‍යානවල” බව පවසමින් ඔවුන්ව මුළාවට පත් කරමින් සිටී. මේ අයුරින් ඔහු සිය අනුගාමින්කයින්හට උතුම් සමාධියද අහිමි කරමින් නිවන් මඟ අහුරා දමයි.

සම්බුදු දහමෙහි හදවත වූ අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණුවලට මහා විකෘති නිරුක්තියක් සපයමින් ප්‍රඥාවට බරපතළම ප්‍රහාරයක් මොහු විසින් එල්ල කළේය. ඉන් එහාට තර්ක කිරීමට දෙයක් නැත. මොහු පෙර නොඇසූ විරූ ධර්මයක් ලෙස විස්තර කරන්නේ මින් පෙර කිසිදු අධර්මවාදියෙකුගෙන් හෝ අතින් සිදු නොවුනු බරපතළ ධර්ම විකෘතියකි.

මේ අයුරින් ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව හෙවත් ආර්‍ය අෂ්ටාංගික මාර්ගය හෙවත් චතුරාර්‍ය සත්‍යාවබෝධය තුළින් ලබන විමුක්තියට ඇති එකම හා ඒකායන මඟ වූ සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් පමණක්ම ගුරූපදේශවලින් තොරව අවබෝධ කර ලොවට හෙළි කරන ආර්‍ය ප්‍රතිපදාව බොහෝ අසරණ ගිහි පැවිදි පිරිසකට අහිමි කරමින් නිරය අපේක්ෂක මඟ නම් තම සංවිධානයේ මෙහෙවර (mission) වූ ” නිරය වෙත මඟ හෙළි කිරීම” මේ වනවිටත් සිදු කර හමාරය.

එපමණක් නොව මොහුට ශ්‍රද්ධාව යන වචනය පවා නයාට අඳුකොළ බඳුය. මොහු සෑමවිටම භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඉස්මතු කරනු වෙනුවට තමාව හුවාදක්වන්නට ප්‍රියතාවයක් දක්වයි. උතුම් නව අරහාදී බුදු ගුණවලට පමණක් නොව සදහම් හා සඟ ගුණවලට පවා පාපිෂ්ට නිරුක්ති සපයමින් ද බුදු රජුන් වදාළ දේ නොවදාළ ලෙසද නොවදාළ දේ වදාළ ලෙසද පවසමින්ද බුදුරජාණන් වහන්සේ පහළ වූයේ දඹදිව නොව ශ්‍රී ලංකාවේයැයිද මිසදිටුවක් පතුරුවමින් බොහෝ ආර්‍ය උපවාද කරගත්තෙකි. සැබැවින්ම මොහු සිවුරු දරා සිටියත් දැනටමත් භික්ෂූත්වය අහෝසි වූ හිස් පුරුෂයෙකු පමණි. පහාරාද සූත්‍රයට අනුව මොහු මහා සාගරය නම් වූ බුදු සසුන තුළ නොරඳා ගොඩ ගසන මළ මිනියකි !

සම්බුද්ධ ශාසනයේ ආයුෂ රැඳී ඇත්තේ කළ්‍යාණ මිත්‍රයන් හරි අඩක් මත නොව සම්පූර්ණයෙන්ම එය කළ්‍යාණ මිත්‍රයන් මත රඳා පවතින බවට භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියනට දෙසූ දහම කෙතරම් නම් අසිරිමත්ද !!!

සම්බුදු සසුන වැනසීමට නිරන්තරයෙන් විවිධ අපල උපද්‍රව පැමිණියද භාග්‍යවතුන් වහන්සේගේ මහා අධිෂ්ටාන බලය හේතුවෙන්ම ඒ සියළු පළිබෝධයන් වනසා දමා සම්බුදු සසුන සුරැකීම පිණිස මහා වීර සෙන්පතියන් බඳු වූ ගිහි පැවිදි ශාසන ස්ථිතිකාමී උතුමන් මෙලොව නිසි කලට පහළවෙති. මහා පරිනිර්වාණයෙන් අනතුරුව ආනන්ද, මහා කස්සප, උපාලි ආදී සම්බුදු ළයෙහි උපන් රහතන් වහන්සේලාද, ඉන් පසුව සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාද අනතුරුව මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු මහ රහත් සඟ පිරිසද බුද්ධ භූමිය තුළදීම සම්බුදු සසුන තෙවරක් පාරිශුද්ධ කරමින් දුස්සීල ශ්‍රමණ ප්‍රතිරූපකයන් සසුනෙන් නෙරපා දමා ධර්මයත් විනයත් අල්පමාත්‍ර වූ අඩුපාඩුවකින් තොරව අප වෙනුවෙන් සුරක්ෂිත කර වදාළහ.

අනුබුදු මිහිඳු හිමියන්ගෙන් අපට උරුම වූ එලෙස පාරිශුද්ධ වූ නිර්මල සම්බුදු සසුන ගාමිණී අභය, වළගම්බා ආදී රජවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල මහරහතන් වහන්සේලා විසින්ද කාලානුරූපීව යළි යළිත් පිරිසිදු කොට දුස්සීල ශ්‍රමණ වේශධාරීන් නෙරපා හරින ලදී.

දශක කිහිපයකට පෙර බෝධිසත්ව ගුණෝපිත අනගාරික ධර්මපාලතුමන් හා වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් ආදී ගිහියන්ද, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්, වසර කීපයකට පෙර අපවත් වූ ගංගොඩවිල සෝම හිමියන් ආදී උතුමන්ද එලෙස ශාසන චිරස්ථිය උදෙසා සිය දිවි පුදා සටන් කළ බැවින් බොහෝ දුර්මත හා අභියෝග මැඬලමින් සම්බුදු සසුන සුරක්ෂිත විය.

එහෙත් අවාසනාවකට මෙන් අන් කවරදාටත් වඩා භයානකම උවදුරක් වර්තමානයේ බුද්ධශාසනය තුළ මතු වී ඇත්තේ වහරක නිකායිකයින් විසින් ඉතා සියුම් ලෙස ධර්ම කරුණු විකෘති කර සූත්‍ර දේශනා තම විකෘතිය සනාථ කිරීම පිණිස තාර්කිකව අවභාවිතා කරමින් ධර්මය නොදත් මෝඩ පිරිසක් වෙත සම්ප්‍රේෂණය කිරීම නිසාය. සම්බුදු සසුන විනාශ කිරීමට අනුගමනය කළ හැකි ඉතාම යෝග්‍ය ක්‍රමය මෙලෙස අධර්මවාදී සංකල්ප ශාසනය තුළට රිංගවීම බව සම්බුදු සසුන විනාශ කර නිවන් මඟ වසා දැමීමට නොහැකිව බොහෝ වෙහෙසට පත්ව ඇති ලොවටම අධිපතිභාවය දරණ පුද්ගලයා විසින් තේරුම් ගෙන ඇත. තමන්හට වසර දෙදහස් පන්සියයක් ඉක්මවා ගියද විනාශ කරගත නොහැකි වූ සම්බුදු සසුන පහසුවෙන් විනාශ කළ හැකි කඳ පණුවන් කිහිප දෙනෙක් ඔහු විසින් බිහි කළේ ඒ අනුවය.

එහෙත් අපි හා අපගේ දරු මුණුබුරු පරපුර එතරම් අවාසනාවන්ත නැත. උගත් මෝඩ අනුගාමිකයින්ගේ සත්කාර ගරු බුහුමන් මතින් වැඩෙමින් ධර්ම විනය රිසිසේ විනාශ කරමින් පිළිකාවක් සේ වේගයෙන් වැඩෙමින් සිටි මේ සියුම් අධර්මවාදී විකෘතිකාමීන් හඳුනාගත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා විසින් මහ රහතන් වහන්සේලා අනුගමනය කරමින් ධර්මය තුළින්ම ඔවුන් පරාජය කර සම්බුදු සසුන ඉස්මතු කිරීම පිණිස පෙරට වැඩම කළහ.

සිංහාවලෝකනය හා විභජ්ජවාදී ආදී වූ උතුම් ධර්ම සංගායනාවන් බිහිවන්නේ ඒ අයුරිනි. මේ තුළින් බොහෝ පිරිසක් යථාර්ථය අවබෝධකර ගනිමින් වහරක, මීවනපලාන හා බෙල්ලන්තර හොර රහතුන්ගේ ග්‍රහණයෙන් මිදෙමින් සිටිති. නොමඟ ගියවුන් සුමඟට හා නොමඟට වැටීමට ආසන්නව සිටියවුන් ඊට හසුනොවීමද සිදු වූයේ ඒ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ අනුකම්පාව නිසාවෙන්මය.
“ශ්‍රාවක” අපගේ ෆේස්බුක් සමූහය මඟින්ද අපගේ කාලය හා ශ්‍රමය වැයකරමින් මේ වෙනුවෙන් පෙරමුණ ගැනීමට හැකිවීම පිළිබඳව අපිද පුද්ගලිකව බොහෝ සතුටු වෙමු. මේ සම්බන්ධව අප ඉදිරිපත් කළ වීඩියෝ හා ලිපි කියවා දැනුවත් වෙමින්, බෙදා හරිමින් ඔබ පවා මේ උතුම් කාර්‍යයට සම්බන්ධ වී බොහෝ පින් රැස්කර ගෙන ඇත.
ධර්ම ගවේෂක ආදී you tube චැනලයන් හා සසුනෙහි චිරස්ථිතිය පතන බොහෝ ගිහි පැවිදි පිරිස් මේ පරවාද සුන්කරමින්, විශේෂයෙන් සමාජ ජාලා තුළ මේ සටනට දායක වීම බොහෝ සෙයින් අගය කළ යුතුය.

නිස්සරණාධ්‍යාෂයෙන්‍ යුතුව අධර්මවාදීන්ට එරෙහිව අප නැඟූ ඒ හඬ කෙතරම් ප්‍රබලද යත් ගැඹුරු නිද්‍රාවෙන් පසු වූ බොහෝ දෙනෙක් අවදි කිරීමට එය සමත් වී ඇත. වගකිවයුතු මහානායක නාහිමිවරු පවා මේ සද්ධර්ම ප්‍රතිරූපකයන්හට රතු එළි දල්වා මතු නොව ඔවුන් සිය නිකායන්ගෙන් බැහැරකිරීමට පවා පියවර ගැනීම සම්බුද්ධ ශාසනයට සාදර ගෞරවයෙන් යුතු අප සැමගේම විශාල ජයග්‍රහණයකි. පූජ්‍ය මහා විහාර වංශික ශ්‍යාමෝපාලී වනවාස මහා සංඝ සභාවේ මහා නායක විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද පස්ගොඩ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ විසින් වළස්මුල්ලේ අභය නම් සාමනේර භික්ෂුව සිය නිකාය තුළින් නෙරපා හැර ඇත. එලෙස යම් භික්ෂුවක් සසුනෙන් නෙරපීම සිදු වන්නේ ආවාට ගියාට නොව කරුණු මැනැවින් අධ්‍යයනය කිරීමකින් පසුව හා පූර්ව අවවාද සැපයීමෙන් පසුවය. ඒ අනුව පින්වත් නායක ස්වාමීන් වහන්සේලා විසින් සිය නිකායෙන් නෙරපීම පමණක් නොව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචිය පවා අහෝසි කරන මෙන් ආඥාවක් පැණවීමට තරම් මෙම පුද්ගලයා කෙතරම් විනාශයක් කළ අයෙක්දැයි බුද්ධිමත් අයෙකුට වටහාගත හැක.

කරුණු මෙසේ වෙතත් තවමත් මුළාවෙන් ගැළවීමට නොහැකි වූ ගිහි පැවිදි අනුගාමිකයින් පිරිසක් අභය නම් පුද්ගලයා හා අනෙකුත් වහරක පාප මිත්‍රයන්ද මීවනපාලාන හා බෙල්ලන්තර නිකායන්ද සරණ යමින් නිරයට මඟ සළසා ගනිමින් සිටිති. ඔවුන් ගැන අනුකම්පා කිරීම හැර කළ යුතු අන් කිසිවක් නැත.

එහෙත් මුළාවෙන් මිදිය හැකි එක් පුද්ගලයෙකු හෝ ඇත් නම් ඔහුව ඉන් ගලවා ගැනීම මහත් වූ පුණ්‍යකර්මයකි.

එබැවින් අප නිහඬ නොවී තව තවත් මේ සද්ධර්ම ප්‍රතිරූපකයින් නිරුවත් කර ශාසනයෙන් නෙරපා දැමිය යුතුය. ඒ සඳහා අපට අනුල්ලංඝනීය වූ පරම අයිතියක් ඇති නමුත් පුද්ගලිකව ඊට අපි සුදුස්සන් වන්නේ සද්ධර්මයේ මනා ලෙස හැසිරීමෙන් හා මනා ධර්ම ඤාණයක් ඇති කර ගැනීමෙන් පමණක් වන බවද වටහා ගත යුතුය.

සැබැවින්ම ඉතා දුර්ලභ සම්බුද්ධ ශාසනයේ ආයුෂ තත්පරයකින් හෝ කෙටි නොවීමට අපහට කළ හැකි ලොකු කුඩා සෑම දෙයක්ම සිදු කීරීම ශාසන ස්ථිතිකාමි අප සැමගේ යුතුකමක් සේම වගකීමකි.

තෙරුවන් සරණයි!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::