ධර්ම විකෘති සම්බන්ධයෙන් අප නිතර නිතර ඉස්මතු කොට පෙන්වා දෙන්නේ ඒ ධර්ම විකෘති කළ සංවිධානාත්මක කල්ලි කෙරෙහි ඇති ද්වේෂයක් නිසාවත් ඔවුන්ගේ අනුගාමිකයින් කෙරෙහි ඇති ද්වේෂය නිසාවත් වෙනත් ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් නිසාවත් නොවේ. ධර්ම විකෘති පසු පස ගොස් අනතුරේ වැටෙන පිරිස එයින් මුදවා සැබෑ බුද්ධ වචනය පෙන්වා දීම අපේ උත්සාහයයි. ධර්ම විකෘති සරණගොස් මුලා වී සිටින්නවුන්ට නිවැරදි වීමටත් නිවැරදි වීමෙන් පසු පිරිසිදු ධර්මය ඒ ආකාරයෙන්ම ඉගෙන ගැනීමට අප උදව් උපකාර කරන්නෙමු.
මෑත යුගයේ ධර්ම විකෘති කළ සංවිධානාත්මක කල්ලි (වහරකවාදීන්, පිටදූවේ කල්ලි) තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර‍ දේශනා බැහැර කරමින් තමන්ගේ හිතළු අදහස් ඒවාට ලබා දෙමින් බොහෝ ශාසනික විනාශයක් සිදු කරමින් යයි. දෙව්ලොව උපතට ගැරහීම මොවුන් දැන් කරමින් යන සියුම්, කූට විකෘති කිරීමකි. ඒ සදහා යොදාගන්නේද ඔවුන් විසින්ම බැහැර කරන ලද බුද්ධ දේශනාමයි. තමන්ට අවශ්‍ය විට බුද්ධ දේශනා උපුටා දක්වමින් තමන්ගේ මතයට නොගැලපෙන අවස්ථා වලදී බුද්ධ දේශනා බොරු යයි පවසමින් මොවුන් කරගෙන යන මේ ශාසනික විනාශය සුළුපටු වූවක් නොවේ.
දෙව්ලොව උපත ගැන බුද්ධ දේශනා ධර්මවාදීන් විසින් ඉස්මතු කොට පෙන්වූ කළ “බුදුරජාණන් වහන්සේ වදාලේ සසර ගමන දුක් දායකය. ඉක්මණින් සසරින් අත්මිදෙන්න යනුවෙනි ” යි කියා ඔවුන් මහා ලොකු අප්‍ර‍මාදී බවක් මවාපායි. නමුත් බොහෝ පිරිසකට නිරයට යන මග විවර කරමින් නිවන තියා සුගතියත් මිනිසුන්ට අහිමි කරමින් බුද්ධ දේශනා ගැන සැක ඉපැද්දුවේද මොවුන්මය. එනිසා මොවුන්ගෙන් පරිස්සම් වීම අවශ්‍ය වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාල දේශනා ඇසුරෙන් බොහෝ අයගේ දැනගැනීම පිණිස දෙව්ලොව රැකවරණ අපේක්ෂා කිරීම ගැන පෙන්වාදීම අත්‍යවශ්‍ය කරුණකි. එනිසා ඔබත් අධර්මවාදීන් හදුනාගෙන ඔවුන්ගේ හිතළු අදහස්වලට යට නොවෙමින් සැබෑ බුද්ධ වචනය ඉගෙන ගන්න උත්සාහ කරන්න.
සැබවින්ම සසර යනු දුක උරුම වූවකි. අසුරු සැණක් ගහන මොහොතක්වත් සසර ගැන අප භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කොට නැත. හිස ගිණිගත් කෙනෙකු ඒ ගින්න නිවන්න උත්සාහ කරනවාටත් වඩා උත්සාහයක් වීර්යයක් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම වෙනුවෙන් ගත යුතු බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ.
එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ විසින්ම තම ශ්‍රාවකයින්ට දෙව්ලොව උපත වර්ණනා කළ සේක. සසර ගමන දුකක් යැයි පෙන්වා වදාල භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොව උපත වර්ණනා කළේ ඇයි?
සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන මේ නිවන්මග කතා මාත්‍ර‍යකින් අවසන් නොවන ප්‍රායෝගික වැඩ පිළිවෙලකි. මේ ප්‍රායෝගික වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට දක්ෂ වූ අය සැබවින්ම සසර දුකින් අත්මිදෙන්නේමය. එය ප්‍රායෝගිකව සිදු කරගත නොහැකි වූ පුද්ගලයා නැවත සසර ගමනටම වැටෙන්නේය. එය පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම අනුව තීරණය වන්නකි.
සසරේ පින් අඩු, ඉන්ද්‍ර‍ය ධර්මයන් නොවැඩුණ පුද්ගලයින් පින් දහම් කරමින් සුගති රැකවරණ පතමින් ධර්ම මාර්ගයේ අංග සම්පූර්ණ කරන ආකාරය බුද්ධ දේශනා අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට දැකිය හැකිය. මිළිදු රාජ ප්‍ර‍ශ්ණයේද මේ ගැන නාගසේන මහරහතන් වහන්සේ විග්‍ර‍හ කොට තිබේ. කළ්‍යාණමිත්‍ර‍යන් මෙහි ඇති සත්‍යය ස්වභාවය ගැන ඉස්මතු කොට පෙන්වා දෙයි. නමුත් එයින් ධර්මාවබෝධ කරන්න වීර්යය කරන්න එපා යැයි අදහසක් එතන නැත. වීර්යය කරන ගමන් සුගතියේ සිත පිහිටුවාගත යුතු බවයි පෙන්වා දෙන්නේ. සත්පුරුෂයින් කරන්නේ සත්‍යය තත්වය පැහැදිලි කිරීමයි. බොරු අප්‍ර‍මාදී බවක් පෙන්වා මිනිසුන් මුළා කොට නිරයට ඇද දැමීමේ උවමනාවක් සත්පුරුෂයන් තුළ නැත.
සැබවින්ම දේවතානුස්සතිය නමින් භාවනාවක් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළා. භාග්‍යවතුන් වහන්සේ මේ දේවතානුස්සතිය පෙන්වා වදාලේ නිවන් මගට මුල් වන භාවනාවක් බවයි. ඒ බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පැහැදිලිව සදහන් වේ. ඒ වගේම දේවතානුස්සතියට මහත් අත්වැලක් වන කාරණා අඩංගු සූත්‍ර‍යකි මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍ර‍ය. දෙව්ලොව රැකවරණය ප්‍ර‍තික්ෂේප කරන ධර්ම විකෘති කල්ලි ප්‍ර‍තික්ෂේප කරන්නේ මේ බුද්ධ වචනය නොවේද?
භාග්‍යවතුන් වහන්සේ සුගතියේ රැකවරණය සළසා ගන්න යැයි වදාලේ එහි ඉපිද සැප විදින්න කියා නොවේ. එහිදීද ධර්මාබෝධ කිරීමේ ඇති හැකියාව ඇති නිසයි දෙව්ලොව ඉපදීම භාග්‍යවතුන් වහන්සේ වදාලේ. භික්ෂූන් වහන්සේලාට නම් දෙව්ලොව උපත පතාගෙන බඹසර රැකීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා නොකළ අවස්ථාවක් බුද්ධ දේශනාවල මුණගැසෙනවා. නමුත් පොදුවේ ගිහි පැවිදි දෙපිරිසම දේවතානුස්සතිය වැඩිය යුතු බවයි භාග්‍යවතුන් වහන්සේ වදාලේ. සංඛාරුප්පත්ති සූත්‍ර‍යෙන් එය මොනවට පැහැදිලි කරයි. චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය, මෙන්ම බ්‍ර‍හ්ම ලෝකත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී එහි සිත පිහිටුවා ගන්නා ලෙස තම ශ්‍රාවකයින්ට අනුශාසනා කොට වදාළා.
දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකායේ දෙවන පොත්වහන්සේගේ මහා වර්ගයේ පළවන සූත්‍ර‍ය වන සෝතානුධත සූත්‍ර‍යයි. මෙවැනි දේශනා පවා ප්‍ර‍තික්ෂේප කරන ඉහත අධර්මවාදීන් තමාගේ වාසියට පමණක් බුද්ධ වචනය පාවිච්චි කිරීම ගැන අප කුමක් කියන්නද?
මේ තියෙන්නේ අංගුත්තර නිකාය දෙවන පොත්වහන්සේගේ මහාවර්ගයේ පළමු සූත‍්‍රය වන සෝතානුධත සූත‍්‍රයයි. මෙහි පැහැදිලිව සඳහන් වෙනවා මනුෂ්‍ය ලෝකයේ ධර්මය අවබෝධ කරගත නොහැකි වූ කෙනෙක් දිව්‍ය ලෝකයේ ගොස් ධර්මය අවබෝධ කරන ආකාරය. මෙවන් බුද්ධ දේශනා අධ්‍යනය නොකර තමාගේ මත ඉදිරිපත් කරන්නා වූ අධර්මවාදී පිරිසක් සරණ ගිය ඇතැම් හිස් පුද්ගලයින් බුද්ධ දේශනා ප‍්‍රතික්ෂේප කරන අයුරු නුවණැතියන් හට දැක බලා ගත හැක.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද වැටහෙයි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි. මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ පළමු ආනිශංසය කැමති විය යුත්තේ ය.

2. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙයි. එනමුදු ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. බෙර හඬ හඳුනාගැනීමෙහි දක්ෂ පුරුෂයෙකු සිටියි. හේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ බෙර හඬක් අසයි. එවිට මේ බෙර හඬක් දෝ, බෙර හඬක් නොවෙයි දෝ යනුවෙන් සැකයක් හෝ විමතියක් හෝ ඇති නොවෙයි. එනමුත් බෙර හඬක් ම යැයි නිශ්චයකට යයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙයි. එනමුදු ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමෙන් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

3. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එහෙත් දිව්‍ය පුත‍්‍රයෙක් දෙව් පිරිසට ධර්මය දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. සක් පිඹින විට නැගෙන නාදය හොඳින් දන්නා පුරුෂයෙක් සිටියි. හේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ සක් පිඹින හඬක් අසයි. එවිට මේ සක් හඬක් දෝ, සක් හඬක් නොවෙයි දෝ කියා සැකයක් හෝ විමතියක් හෝ ඔහු තුළ ඇති නොවෙයි. එනමුදු සංඛ නාදයක් ම යැයි නිශ්චයකට පැමිණෙයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි.එහෙත් දිව්‍ය පුත‍්‍රයෙක් දෙව් පිරිසට ධර්මය දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි. මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුත්තේ ය.

4. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එමෙන් ම දිව්‍ය පුත‍්‍රයෙක් දෙව් පිරිසට ධර්මය නොදෙසයි. එහෙත් ඕපපාතික ව උපන් දෙවියෙක් පසු ව ඕපපාතික ව උපන් තැනැත්තාට සිහි උපදවයි. ‘නිදුකාණෙනි, සිහි කළ මැනැව. යම් සසුනක අපි පෙර මිනිස් ලොව බඹසර හැසිරුණෙමු’ යි. එවිට ඔහු මෙසේ කියයි. ‘නිදුකාණෙනි, සිහි කරමි. නිදුකාණෙනි, සිහි කරමි’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. වැලිකෙළියෙහි යෙදුණු යහළුවෝ දෙදෙනෙක් සිටියහ. ඔවුහු කිසියම් කලක එකිනෙකා මුණගැසෙත් නම් එක යහළුවෙක් අනෙක් යහළුවාට මෙසේ කියයි. ‘මිත‍්‍රය, මෙසේ ත් සිහි කෙරෙහි ද?’ එවිට හේ මෙසේ කියයි. ‘සිහි කරමි මිත‍්‍රය’. ‘මිත‍්‍රය, මෙය ත් සිහි කෙරෙහි ද?’ යි. එවිට හේ මෙසේ කියයි. ‘සිහි කරමි මිත‍්‍රය’. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප‍්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එමෙන් ම දිව්‍ය පුත‍්‍රයෙක් දෙව් පිරිසට ධර්මය නොදෙසයි. එහෙත් ඕපපාතික ව උපන් දෙවියෙක් පසු ව ඕපපාතික ව උපන් තැනැත්තාට සිහි උපදවයි. ‘නිදුකාණෙනි, සිහි කළ මැනැව. යම් සසුනක අපි පෙර මිනිස් ලොව බඹසර හැසිරුණෙමු’ යි. එවිට ඔහු මෙසේ කියයි. ‘නිදුකාණෙනි, සිහි කරමි. නිදුකාණෙනි, සිහි කරමි’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.
මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ සිව්වෙනි ආනිශංසය කැමති විය යුත්තේ ය.
මහණෙනි, සවන් දීමෙන් දරාගන්නා ලද, වචනයෙන් පිරිවහන ලද, මනසින් විමසන ලද, නුවණින් අවබෝධ කරගන්නා ලද ධර්මයන්ගේ මේ ආනිශංස සතර කැමති විය යුත්තේ ය.

තෙරුවන් සරණයි!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.