දහමෙන් ගැරහුම් ලැබිය යුතු අසත්ධර්මය හමුවේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ වගකීම…..

භාග්‍යවත් වූ අරහත් වූ තථාගත වූ අපගේ ශාස්තෘ වූ ඒ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ අසංක්‍ය, කල්ප, ලක්ෂ හතරක්, පාරමී දම් පුරා, වෙනත් අයුරකින් කියතොත් ඒ සා මහත් වූ කාලයක් ටිකෙන් ටික කුසලතා පරිපුර්ණ කරගෙන තවත් විදිහකින් කියනවා නම් හැකියාවන් උපදවාගෙන අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතුවූ වැඩුණු සිතින් යුතුව සර්වඥ වූ (සියල්ල දන්නා දකිනා වූ ) විශේෂ ඥානයක් උපදාවාගෙන අපට සිහිනෙන්ව ත් සිතිය නොහැකි, තම තම නැණ පමණින් කුසලතාවය ඇති පමණින් ශ්‍රද්ධාවට පමණක් පත්විය හැකි තරම් වූ මහා ගුණයක්, මහා ප්‍රඥාවක් උපදවාගත් මුණිවරයෙක් ලෝකානුකම්පාවෙන් නොවිඳිනා දුක් විඳ, නොවිඳිය යුතුව තිබු දුක් විඳ ලොවට දේශනා කොට වදහල ශ්‍රී සත්ධර්මය යමෙක් වනසයි නම් නසයි නම් ඒ සා පාපකර්මයක් නම් තවත් නැත…

ලොවේ ඇති තතු ඒ අයුරිම දැන ගෙන තථාගතයන් වහන්සේ මේ තාක් වැසි තිබු ඒ ලෝකයේ යථා ස්භාවය මනාකොට විවර කර පෙන්නුවා.
දුක්කිත වූ අනන්ත සංසාරයක සරණක් නොමැතිව අසරණව සැරි සරන සත්වයින්ට දුකින් මිදෙන මාවත උන්වහන්සේ හෙළි කළා.
යමෙක් ඒ ධර්මය නුවණින් විමසයි නම් , විමසන ධර්මයට අනුව ප්‍රතිපදාවේ යෙදෙයි නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ටිකෙන් ටික වැඩී ගොස් යම් දිනෙක හේ මඟඵල නුවණ සාක්ෂාත් කොට අරි අට මඟ සම්පුර්ණ කරගන්නවා කියන කරුණ සිදුවන්නක්.
මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් යන කාරනා දෙක සිදුවන්න උපකාර වන කරනු දෙකක් තිබෙනවා. එනම් කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසීම සහ ඔහුගේ මාර්ගයෙන් තථාගත ශ්‍රී සත්ධර්මය ශ්‍රවනය කිරීමයි.
මේ ලෝකයෙහි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතුළු මේ කරුණු හතර අතිශයෙන්ම දුර්ලභයි.
කල්‍යාණ මිත්‍රයා හඳුනාගැනීමට නම් අතිශයෙන්ම දක්ෂ වියයුතුයි.
එය ලෙහෙසි කාරණාවක් නම් නොවේ.
කෙනෙකුට රිදී වලයි, රත්තරන් වලයි වෙනස ලෙහෙසියෙන් සොයාගත හැකි මුත් ඉමිටේෂන් වලයි රත්තරන් වලයි වෙනස නම් එතරම් ලෙහෙසියෙන් සොයාගැනීමට නොහැකි වනු ඇත.

දුප්පත් මනුස්සයෙක් ආභරණ පැළඳගෙන සිටින විට එය ඇත්තටම රත්තරන් උනත් අපිට හිතෙන්න පුළුවන් එය ඉමිටේෂන් කියල.
ධනවත් කෙනෙක් ඉමිටේෂන් දාගෙන හිටියත් අපිට හිතෙන්න පුළුවන් ඒ නම් සැබෑම රත්තරන් කියල.

අන්න ඒ වගේ ඉංජිනේරු උපාධියක් තිබෙන, රට රටවල ගිහින් ධර්ම දේශනා කරන, මනා දේශනා හැකියාවක් තිබෙන, තර්කානුකුලව කතා කළහැකි, පඬු පැහැ සිවුරු දරාගෙන තථාගතයන් වහන්සේට ම වන්දනා කරන මුත් මොනයම් වූ හේතුවක් නිසා මඟ වරදවාගත් යමෙක් මෙයයි තථාගතයන් වහන්සේ වදාරන ලද මාර්ගය කියා තථාගතයන් සැබෑ ලෙසම වදාළ මඟට (නොදැන මුත්) ගරහා කොට ඒ මඟ නසා වෙනත්, තමන්ට ගෝචර වූ මඟක් පෙන්වයිද , ඒ පුද්ගලයා මගේ කල්‍යාණ මිත්‍රයාය කියා පිළිගන්නා වූ යමෙකුට තථාගතයන් වහන්සේ විසින් පෙන්වා වදහල මාර්ගය වැසි ගොස් මඟ වරදවාගත් පුද්ගලයෙකු පෙන්වන්නා වූ අන්‍ය මඟක් විවෘත වෙයි.
ඒ මාර්ගයත් නිසැක වශයෙන්ම යම් දිශානතියක ට ඔබව ඒකාන්තයෙන් ම රැගෙන යනු ඇත , එනමුත් තථාගතයන් හෙළිකරන ලද, දුකෙන් මිදෙන්නා වූ නිවන් මාර්ගය නම් නොවේ.

බොදු මඟ යැයි කිය කියා අන්‍ය මඟකයි ඔබට යන්න වෙන්නේ.
ඔබ නොදැන හෝ වීර්යයකින් යුතුව ශ්‍රද්ධාවෙන් ආර්ය උපවාද අකුසල කර්මය රැස් කරගන්නා අයුරු දැකීම ට ලැබීම අතිශයෙන්ම කණගාටුදායකයි.
හොඳ සිතින් මුත් මෝහ මූලිකව ඔබ විසින් සිදුකරගන්නා වූ මේ පාපය, ආනන්තරීය පාප කර්මයක් හා බලවත් අකුසල කර්මයක් බව නම් කිවයුතුම යි.
තථාගතයන් වහන්සේ විසින් වදහල යමක් ඔබ නොවදහල බව පවසත් නම් , උන්වහසේ නොවදහල දේ වදාළ බව පවසත් නම්, සසරේ බොහෝ කාලයක් ඔබට බුදු කෙනෙකුන්ගේ ධර්මයක් නම් නොඇසෙනු ඇත, ඇසුනද වටහාගැනීම උදෙසා ප්‍රඥාවක් නොපිහිටනු ඇත.

යමෙක් ධර්මයේ පද පෙරලි කරන්නේ නම් ඒ පිළිබඳව බොහෝ සෙයින් විමසිලිමත් වන්න.
මේ අසත්ධර්ම පැතිරවීමේ ඛේදවාචකය ට , කෙමනට, අසු නොවන්න….
උතුම් ක්ෂණ සම්පත්තිය නම් මඟහරවා නොගන්න …..
කාලාම සුත්‍රය ඉතාමත් ම හොඳින් අධ්‍යයනය කරන්න.
මේ පද පෙරලි ගැන විස්තර කර ඇති ලිපි කිහිප සැරයක්ම කියවන්න.
සත්පුර්ෂයින්, කලණ මිතුරන් ඇසුරු කරන්න.
මාන්‍යයෙන් , උද්දච්ච කමෙන් , තර්කයෙන් කුමන ඵලයක්ද?

මෙතරම් විපත්තිකර භයානක පිළිකාවක් මෙන් ශාසනය තුලින්ම පහල වී අහිංසක මිනිසුන්ගේ ශ්‍රද්ධාව නසමින්, තිසරණය නසමින් මඟ නසමින් අනාගතයේ විශාල ශාසනික අර්බූදයක ට මඟ පාදමින් පැතිර යන විවිධ නම් වලින් අටවාගත් පිරිස් සිදුකරන අසද්ධර්මය සම්බන්ධයෙන් ධර්ම වාදීන්ගේ , විනය වාදීන්ගේ නිහැඬියාව නම් උභතෝකෝටිකයකි.

අහෝ! අප තථාගතයන් අනන්ත කැපකිරීම් කොට බොහෝ සෙයින් දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් මහා විර්යකින් මහා කරුණාවකින් සියලු ගැහැට විඳදරාගෙන ලොවට හෙලිකලා වූ ධර්ම මාර්ගය, අප සුවසේ හිඳ, සුවදායක ප්‍රතිපදාවක් අනුගමනය කරමින් මදුරුවෙකුගෙන් වත් පීඩාවක් නොවිඳ ශ්‍රද්ධාව ට පත්ව සිල්වත්ව මනා දහම් දැනුමක් උපදවාගෙන, මනා ලෙස සිහිය උපදවා, සමාධිය උපදවා, සද්ධානුසාරීව, ධම්මානුසාරීව අෂ්ඨ ආර්ය පුද්ගලයන් අතර ට පත්වන්න ට හැකිවූ ඔබට, තව දුරටත් තිසරණයට පැමිණීම ට නොහැකිවුවන් කෙරෙහි හෝ තිසරණය වරදවා අසත්ධර්ම පතුරුවන සත්පුරුෂ වේශයෙන් සිටිනා මෙම අධර්ම වාදීනට හසුවුවන් කෙරෙහි අනුකම්පාව නූපදින්නේ මන්ද?.

අද තථාගතයෝ ජීවමාන නොවෙති , ඉර්ධිමත් මහා රහතුන් සිටින ඉසවුවක් ගැන අප නොදනිති, එනමුත් සද්ධානුසාරී , ධම්මානුසාරී වුවෝ නම් බොහෝ පිරිසක් සිටිති..
මේ එලඹ ඇත්තේ තථාගතයන් කෙරෙහි අප අපගේ යුතුකම් ඉටුකළයුතු යුගයයි.
තථාගතයන් කෙරෙහි යමෙක් ශ්‍රද්ධාව උපදවාගෙන සිටිත්ද, උතුම් තිසරණය ට පත්ව සිටිත් ද, මා ඔබව තථාගතයන් වහන්සේගේ නාමයෙන් අමතමි…

එම්බා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රය,

අදින් බොහෝ කලකට පෙර බුදුන් දවස පාපී දේවදත්ත විසින් අලුත පැවිදිවූ භික්ෂුන් 500 නමක් මුසාවාදයෙන් රවටා නිවන සදහා කෙටිමඟක් පෙන්වමි යි කියා සංඝ බේදයද කොට රැගෙන ගියා මතකද?
එදවස මහා කාරුණික ශාක්‍ය මුනින්ද්‍රයන් මහා කිත්ගොස ඇති මහා ඉර්ධි ඇති මහා ප්‍රඥා ඇති තථාගත ශාසනයේ ධර්ම සේනාධිපතීන් වන සාරිපුත්තයන් වහන්සේ ත් මොග්ගල්ලයානන් වහන්සේ ත් ඇමතූහ,

සාරිපුත්ත, මොග්ගල්ලාන ඔබට නොපෙනේද පාපී දේවදත්ත විසින් අලුත පැවිදි වූ භික්ෂුන් 500 නමක් මුසාවාදයෙන් අන්ධකොට රවටා ඔහු වෙතට රැගෙන ගියා…
ඔබලාට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් නොමැතිද ? වහාම ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් යනු, කුසල් මුල් සිඳ ගැනීම ට පෙර, දම් දෙසා මාගේ ශාසනය කෙරෙහි පහදවා ඔවුහු මුදවා ගන්න.

අද මෙය වචනයෙන් කීමට තථාගතයෝ නොමැත, එනමුත් ඒ සම්බුදු වදන, සම්බුදු ආඥාව අදටද රැවූ පිලි රැවූ දෙමින් පවතී… ඒ ආඥාව ඔබට නොසලකා සිටිය හැකි ද?…..
ඒ ආඥාවට අනුව කටයුතු කිරීමට ඔබ හැර වෙන කවුරු නම් සිටිත් ද?….
වගකීම ඔබගේ දෙවුර මත පැටවී අවසන් …..
ප්‍රජාව කෙරෙහි අනුකම්පාව උපදවාගෙන තථාගතයන් කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකින් , අප භවත් ගෞතමයන්ගේ මෙහෙකරුවෙකු විලසින් ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රද්ධාවන්ත සිංහල බෞද්ධයෙකු විලසින් නැගී සිටව!
මඟ වරදවාගත්තවුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනගේ සිහිය උපදවා තථාගත ශාසනයෙහි පිහිටුවීමට කටයුතු කරව….!!!

තෙරුවන් සරණයි!

ගෞතම බුදු සමිඳුන්ගේ ගිහි ශ්‍රාවක දරුවෙක්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ දසම සූත්‍රයේ මෙසේ සඳහන්:

“යෙ තෙ භික්‌ඛවෙ භික්‌ඛූ දුග්‌ගහිතෙහි සුත්‌තන්‌තෙහි බ්‍යඤ්‌ජන‌පතිරූපකෙහි අත්‌ථඤ්‌ච ධම්‌මඤ්‌ච පටිබාහන්‌ති, තෙ භික්‌ඛවෙ භික්‌ඛූ බහුජනාහිතාය පටිපන්‌නා බහුජනාසුඛාය බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ භික්‌ඛවෙ භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති. තෙචිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති.”

යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්‍ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ ශාසනය ද අතුරුදන් කරනවා….