කලක් තිස්සේ ධර්මයට විනයට විකෘති අර්ථකථන දෙමින් ධර්මය අධර්මය ලෙසත් විනය අවිනය ලෙසත් හුවා දැක් වූ බොහෝ දෙනෙකුට අහිත පිනිස බොහෝ දෙනාට දුක පිණිස බොහෝ දෙනාට අවැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක පිණිස පිළිපන්නා වූ වහරක විකෘතිය ලොවට ප්‍රචාරය කරමින් සිටින වළස්මුල්ලේ අභය සාමණේර භික්ෂුව කියා සිටින්නේ විකාල බොජුන් යනු සිහි විකල් වී වලඳන බොජුත් බවත් ඊට ඉර අවරට යෑම හෝ කාලය පිළිබඳ පැනවීමක් නැති බවත්ය.

නමුත් විනය පිටකය සහ සූත්‍ර පිටකය අනූව ඉතාම පැහැදිලියි මේ වළස්මුල්ලේ අභය නම් සාමණේර භික්ෂුව තමනුත් විකාලයෙහි වළඳන ගමන් එම ශික්ෂා පදය පාලි බස නොදැනීම නිසා හෝ උවමනාවෙන්ම විකෘති කරන බව.

පාලි බසින් විකල් යනු අයෝග්‍ය කාලය, අකාලය යන්න හැඟවෙයි. එයින් සිංහල බසේ තිබෙන සිහි විකල් වීම යන්න අදහස නොදේ. සිංහල වචන පාලි බසට ආදේශ කිරීමේ විකෘතියේ ආරම්භ සිදු කරන ලද්දේ අපවත් වී වදාල වහරක අභයරතනාලංකාර හිමි නම් වළස්මුල්ලේ අභය සාමණේර හිමි ගේ ගුරු හිමිය. ඒ අනූවම කටයුතු කරමින් සිටින සසුනෙන් නෙරපූ වළස්මුල්ලේ අභය සාමණේර හිමි විකාලයේ නොවැළඳීම බමුණු වතක් යැයි ද කියා ශික්ෂා පදයට නිග්‍රහ කරමින් මේ විකෘතිය සමාජගත කරමින් සිටී.

මේ අභය හිමිගේ විකල් භෝජනය පිළිබඳ විග්‍රහය තමාට රිසි සේ ගිහි කල ආහාරගත් විලසටම පාළනයකින් තොරව ආහාර වැළඳීමට නිදහසට කාරණවක් සකසන්නකි. ඒ විතරක් ද නොව බුද්ධ වචනය ඉක්මවා අභය හිමි පවසන්නේ විකාලයේ ආහාර නොගැනීමෙන් ලෙඩ වෙන බවත්, අපහසුවක් දැනෙනෙ බවත්ය. මෙය කීටාගිරි සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ “මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා මැ වළදවු. මහණෙනි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ” යන බුද්ධ වචනය ඉකම යෑමකි.

ඒ වගේම අස්සජි යැ පුනබ්බසුක යන භික්ෂූණ් දැරූ මතයමය. නමුදු අස්සජි පුනබ්බසුක යන භික්ෂූණ් අර්ථය විකෘති කලේ නැත. ඒ වෙනුවට ශික්ෂාපදය නොසලකා හැර “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. කීවා පමණි. අභය සාමණේර හිමිගේ ප්‍රකාශයෙන් විනය අවිනය ලෙස දැකවීම ඊටත් වඩා බරපතල අකුසලයකි. බුද්ධ දේශනාවට හා භාග්‍යවතුන් වහන්සේට කළ අභූත චෝදනාවකි.

ඉදින් මේ වළස්මුල්ලේ අභය නම් හිටපු සාමණේර භික්ෂුව නිසා බොහෝ දෙනෙක් නොමඟ ගොස් හමාරය. තවද මේ අය මේ අධර්මය සිවුරු දරාගනිමින් රට පුරා තවමත් ප්‍රචලිත කරමින් සිටී. වහරකවාදී භික්ෂූණ් ද විකාලයේ වළඳන බවට කිසිදු සැකයක් නැත. මෙවැනි අධර්මවාදීන්ට ඔබ ද රැවටී අකුසල් රැස් කරගත්තා නම අද අදම තිසරණය කමා කරගන්න. නැතහොත් ඒ අකුසලයන් අනුමෝදන් වූ ඔබට ද බොහෝ දුක් සහිත විපාක විඳීමට සිදුවනු නොඅනුමානය.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.