අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් එදා වදාළ දේ යැයි ධර්මය නාමයෙන් අපි ශ්‍රවණය කරන, කියවන සියල්ල උතුම් බුද්ධ භාෂිතයම ද ? නැතහොත් අධර්මයක් ද ?
භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අනුව මෙය විසඳාගන්නේ කෙසේද ???
භික්ෂූන් විසින් යම් කරුණක් පිලිගත යුතු බවට හේතු ලෙස පැවසීමට ඉඩ ඇති කරුණු හතරක් සතර මහා අපදේශ ලෙස භාග්‍යවතුන් වහන්සේ විස්තර කර ඇත.
මහා අපදේශ සතර
—————————————
බුද්ධාපදේශ – භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම අසා දැනගත් බැවින්
සංඝාපදේශ – යම් ආශ්‍රමයක භික්‍ෂු සමූහයකගේ අදහස බැවින්
සමබහුලත්ථෙරාපදේශ – යම් භික්‍ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින්
එකත්ථෙරාපදේශ – බහුශ්‍රැත තෙර නමක් විසින් වදාල බැවින්
අනුගමනය කලයුතු පිලිවෙත
————————————————–
ඍජුව පිලිගැනීම හෝ ප්‍රතික්‍ෂේප නොකරන්න.
විනය හා සබැඳි කරුනක් නම් විනය හා සසදා බලන්න. (විනයේ සංදස්සේතබ්බානි)
ධර්මය හා සබැඳි කරුනක් නම් සූත්‍රවල බහා සසඳා බලන්න (සුත්තේ ඔරිය තබ්බාති).
ගැලපේනම් පිලිගන්න!
නොගැලපේනම් ප්‍රතික්‍ෂේප කරන්න!
මේ ගැන අඞ්‌ගුත්‌තර නිකාය – චතුක්ක නිපාතය – සඤ්‌චෙතනිය වර්ගය – මහාපදෙසදෙසනා සූත්‍රයේ විස්තර වේ.
මේ අනුව යමක් බුද්ධ භාෂිතයක් ද නැද්ද යන්න පිළිබඳව තෝරා බේරා විමසා බලන ක්‍රමය පවා අප සරණ ගිය ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම පෙන්වා වදාළ සේක.
මේ සතර මහාපදේශ ගැන අද බොහෝ දෙනෙක් දැනුවත් නැත. බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ කවුරුන් විසින් ඇත්ත කියනවා ද දහමට අදාල දෙයක් ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරනවා ද යන්න පිළිබඳවයි.
නමුත් ඔබ ත්‍රිපිටකය පරිශීලනය කරනවා නම් මේ දේශකයන් වහන්සේ පවසන කරුණ සූත්‍රයට විනයට ගැලපේද කියා තීරණය කර පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුව ඇත. කරුණු එසේ වුවද අධර්මයට හසු වූ බොහෝ දෙනෙකු කිවූ පමණින් පිළිගන්න ස්වභායක් ද තව තවත් මුළාවට මෝහයට පත්වීමක් ද දකින්නට ලැබේ.
රාග, ද්වේශ, මෝහ නසන වැඩ පිළිවෙලක තමා ගමන් කරන්නේ යැයි සිතා තව තවත් මෝහයට පත් වී අධර්මය එලෙසටම කිසි විමංසනයකින් තොරව පිළිගන්නා තත්ත්වයටම ඇතැමෙක් ඇදවැටී ඇති අතර තිසරණයට ද හානි කරගෙන උඩඟු කමත් මෝඩකමත් වැඩිවීමක්ම සිදු වී ඇති නිසා භාග්‍යවතුන් වහන්සේවවත් පිළිනොගන්නා තැනකට පත්ව ඇත. උතුම් ශ්‍රී සද්ධර්මයටත් භාග්‍යවතුන් වහන්සේටත් අභූතයෙන් චෝදනා කරමින් ආර්ය උපවාදයනට ද මේ පිරිස් හසුවීමට මූලිකම හේතුව වී ඇත්තේ සතර මහාපදේශ පිළිබඳව ඇති නොදැනුවත්කමයි.
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයෙහි දී පවා ඇතැම් අන්‍ය ආගමික බමුණන් තමන් නිවන පිනිස වැඩ පිළිවෙලක යෙදෙන බව සිතා සිටියා නොවේද? උරුවෙල කාශ්‍යප ජටිල තාපසතුමාද තමන් රහතන් වහන්සේ නමක් යැයි මාන්නයෙන් මුලා වී සිටියා නොවේ ද? නමුත් ඔහු අනුගමනය කළේ නිවන පිනිස ප්‍රතිපදාව නොවේ. අනුත්තරෝ පුරිසදම්මසාරථී වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කාශ්‍යපගේ මාන්නය බිඳ සැබෑම නිවන පිනිස වූ මාර්ගය පෙන්වා වදාල සේක. උරුවෙල කාශ්‍යපයන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වී නිවී සැනසුනි.
එසේ නම් රාග, ද්වේශ, මෝහ නසන සැබෑම වැඩ පිළිවෙල නිවනට යොමු කරන ඒ ශ්‍රී සද්ධර්මය, සද්ධම්මපතිරූපකයන්ට නොරැවටී හඳුනා ගැනීමට, මේ සතර මහාපදේශ අනූවම කටයුතු කිරීමට තිසරණ සරණ ගිය සැබෑම ශ්‍රාවකයා දක්ෂ විය යුතුය. නැත්නම් රාගය, ද්වේශය, මෝහය අඩුවනවා යැයි සිතා තව තවත් මුළාවකටම පත් වී බොහෝ දුකට පත්වනු නිසැකය.
තෙරුවන් සරණයි!!!