අධර්මවාදීන් ගේ නූතන නිදහසට කාරණාව

//අධර්මවාදීන් ගේ නූතන නිදහසට කාරණාව

අධර්මවාදීන් ගේ නූතන නිදහසට කාරණාව

අප ආදරයෙන් ගෞරවයෙන් සරණ ගිය ගොයුම් ගොත් මුණීන්ද්‍රයාණන් වහන්සේ අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා, වෙනත් අයුරකින් කියතොත් ඒ සා මහත්වූ කාලයක් ටිකෙන් ටික කුසලතා පරිපුර්ණ කරගෙන තවත් විදිහකින් කියනවනම් හැකියාවන් උපදවාගෙන අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතුවූ වැඩුණු සිතින් යුතුව සර්වඥ වූ (සියල්ල දන්නා දකිනා වූ ) විශේෂ ඥානයක් උපදාවාගෙන අපට සිහිනෙන්වත් සිතිය නොහැකි, තම තම නැණ පමණින් කුසලතාවය ඇති පමණින් ශ්‍රද්ධාවට පමණක් පත්විය හැකි තරම් වූ මහා ගුණයක්, මහා ප්‍රඥාවක් උපදවාගත් මුනිවරයෙක් ලෝකානු කම්පාවෙන් නොවිදිනා දුක්විද , නොවිදියයුතුව තිබු දුක් විද ලොවට දේශනා කොට වදහල ගාම්භීර වූ උතුම් ශ්‍රී සත්ධර්මයේ පද වලට වර්ථමානයේ බිහිවූ අධර්මවාදීන් පිරිසක් විසින් විකෘති අර්ථකථන දී බොහෝ පිරිසක් නිරයට ඇද දමමින් සම්බුද්ධ සාසනය වේගයෙන් අතුරුදහන් කරමින් සිටිය දී ශාසන හිතකාමීන් ගෙන් එල්ල වෙන විරෝධයට නිදහසට කරුණු කියනා මොහුන්……

“පද අමතක වේවා, අර්ථය වැටහෙවා”

යයි කියමින් තවත් මුලාවකට ධර්මය නොදත් පිරිස් ඇද දමමින් සිටී… මේ ඒ පිලිබඳ කෙරෙන ධර්මානුකූල විග්‍රහයකි….

පථව්‍යා එක රජ්ජෙන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධිපච්චෙන
සොතාපත්ති ඵලං වරං
(ධම්ම පදය – ලෝක වග්ගය – 12 ගාථාව)

“පථව්‍යා එක රාජ්ජෙන” මහ පොළොවටම අධිපති රජකමට වඩා “සග්ගස්ස ගමනේනවා” ස්වර්ගයෙහි දෙව්ලොව දේවත්වයට වඩා “සබ්බ ලෝකාධිපච්චෙන” මුළු ලොවට අධිපති සක්විති රජකමට වඩා “සොතාපත්ති ඵලං වරං” සෝවාන් ඵලය ලැබීම උතුම් ය.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කළේ බුදු සසුනේ අග්‍රදායක අනේපිඩු සිටුතුමාගේ පුත්‍ර කාල සිටුතුමා වෙතය. සුදත්ත හෙවත් අනේපිඩු සිටුතුමා බුදුරදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කළේ ය. තම සිටු ගෙදර නිතර නිතර මහදන් පිදූහ. සිටුතුමාගේ දියණිවරු චූල සුභද්‍රා මහ සුභද්‍රා, සුමනා ඊට සහාය වූවා ය. සිටු ගෙදර සැවොම උදව් කළහ. සිටුතුමා, චූල සුභද්‍රා, මහ සුභද්‍රා සෝවාන් ඵල ලාභී වූහ. සුමනා සිටු දේවිය සකෘදාගාමී වූවා ය. මෙලෙස වූවද කාල පුත්‍රයා මෙමඟට හුරුවූයේ නැත. බුදුරදුන්ට, මහ සඟරුවනට දන් පිදුමට, උපස්ථානයට කාල සිටුපුත්‍රයා උනන්දු නොවූයේ ය. මෙය අනේපිඩු සිටුතුමාගේ සිත් තැවුලට හේතුවක් විය. උපක්‍රමශීලිව තම පුතු ධර්ම ශ්‍රවණයට යොමු කළ යුතුයැයි සිතූ සිටුතුමා පුතුට මසුරන් (මුදල්) දීමට පොරොන්දු කරවාගෙන ධර්ම ශ්‍රවණයට පිටත් කර හැරියේ ය. විහාරයට ගිය සිටුපුත් රෑ පහන් වනතුරු නිදාගෙන සිට උදෑසන අවදිව ගෙදරට පැමිණ මසුරන් පොදිය දෙනතුරු ආහාර නොගෙන සිටියේ ය. අනේපිඩු සිටුතුමාගෙන්, පියා පොරොන්දු වූ පරිදි ත්‍යාග මුදල ලැබුණේ ය. පුතු බෙහෙවින්ම සතුටු විය. පසු දිනෙක සිටුතුමා උපායශීලීව කාල පුතුට කතා කොට විහාරයට ගොස් බුදුරදුන්ගෙන් බණ අසා බණ පදයක් මතක තබාගෙන ඒමේ පොරොන්දුව ඇතිව කහවනු දාහක් දීමට කැමත්ත දැක්වීය. මෙය වටිනා ත්‍යාගයක් බැවින් කාල ඊට එකඟ වූයේ ය. ධර්ම ශ්‍රවණයට විහාරයට ඇතුළු වන කාල දුටු බුදුපියාණන් වහන්සේ ඔහු සිතින් ඔසවාගෙන එන කහවනු පොරොන්දු පොදිය දුටු සේක.

බුදුරජාණන් වහන්සේ කාල සිටු පුතු හට එකම එක බණ පදයකුදු සිත්හි නොරඳන ලෙස අධිෂ්ඨාන කළහ. ඉතා මිහිරි ලෙස ධර්ම දේශනය කළහ. කහවනු පොදිය තමා සතු කර ගැනීමේ සිතිවිල්ලෙන් කාල පුත්‍රයා බණ පදයක්, පදයක් අත නොහැර ඉතා උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කළේ ය.

එක බණ පදයක්වත් සිතෙහි නොරැඳෙයි. උනන්දුව අධිකය. බලාපොරොත්තු සහගත බව තවත් වැඩිවිය. ඊළඟ බණ පදය, ඊළඟ බණ පදයවත් මතක තබා ගනිමියි සිතා බණ අසයි. මතක තබා ගැනීමට වෙර දරන හැම වරෙකම මඟ හැරෙයි. නොරැදෙයි. අත හැරෙයි.
ධර්මදේශනය අවසානයේ කාල සිටුපුත්‍රයා සෝවාන් ඵල ලාභී වූයේ ය.

ඉහතින් දැක්වූයේ අධර්මවාදීන් තම නිදහසට කාරණාවක් කරගන්නා වූ සම්බුදු සසුනේ සුවිශේෂි සිද්ධියකි. එනම් කාල සිටු පුත් අරඹයා පමණක් (දම් සභාවේ සිටි පිරිස අතරින්) භාග්‍යවතුන් වහන්සේ කළ සුවිශේෂි අධිෂ්ඨානයකි. කාල සිටු ධර්මය අවබෝධ කිරීමේ ප්‍රඥ්ඥාවකින් හෙබිව සිටියද ධර්මය අවබෝධ කිරීමේ චේතනාවෙන් තොරව මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පමණක් පැමිණි නිසා මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔහු වෙනුවෙන් පමණක් මේ අධිෂ්ඨානය සිදු කල සේක. ප්‍රතිඵලය වූයේ සාවධානව දහම් පදයක් කටපාඩම් කිරීමට ගොස් ධර්මයට සිත මනාව යොමු වීමයි. අවසානයේ සෝවාන් ඵලයට පත්විය. පසුව අනේපිඬු සිටු විහාරයටම විත් කහවනු මල්ල භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදීම තම පුතුට දෙන විට සෝතාපන්න ඵලයට පත් වූ කාල සිටු පුත් ලැජ්ජවට පත් වී එය ප්‍රතික්ෂේප කළේය. මෙන්න මේ අවස්ථාව අරඹයා තමයි ඉහත ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර සිටින්නේ.

අප සරණ ගිය භාග්‍යවතු වහන්සේ සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා ධර්මය අධ්‍යයනය කරන ක්‍රමය පවා අපට උගන්වලා තියෙනවා.

‘සුතා’ කියන්නේ ධර්මය අහනවා, ‘ධතා’ කියන්නේ අහපු ධර්මය මතක තියාගන්නවා. ‘වචසා පරිචිතා’ කියන්නේ වචනයෙන් පුරුදු කරනවා. ‘මනසානුපෙක්ඛිතා’ කියන්නේ මනසෙන් මෙනෙහි කරනවා, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ කියන්නේ ඒක පැහැදිලිව තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා. මේ ලක්ෂණ ටික ධර්ම අධ්‍යයනයේදී ශ්‍රාවකයාට අවශ්‍යයි. නැත්නම් එයා මොකක් හරි තමන් හිතෙන් හදාගන්න සංකල්පයකට මුළා වෙලා ඉන්නවා.

මේ කිසිවක් හරිහැටි නොදත් අධර්මවාදීන් ගිරවුන් වගේ නිතරම මතුරන වචන කිහිපයක් තියෙනවා. ඒ තමයි ” පද අමතක වේවා!!! අර්ථය වැටහේවා!!! ” කියන පාඨය. බුදු දහමේ තිලකුණම විකෘති කළ මේ අධර්මවාදීන් හිතූ මනාපෙට අකුරෙන් අකුරට වචන කෑලිවලට කඩා තමන්ගේම විකෘති වූ නිරුක්ති සහ වරදවා ගත් අර්ථ සපයා මේ වනවිටත් බොහෝ පිරිස් මුළා කරමින් ඒ අනුගාමිකයින් ආර්ය උපවාදයන්ට නතු කරවමින් ශාසන විනාශයක් කරගෙන යමින් සිටී.

තම අනුගාමිකයින් හෝ වෙනත් ශ්‍රාවකයෙක්, වැරැද්ද පෙන්වා නිවැරැද්ද දැක් වූ විට හෝ වැරැද්ද පෙන්වා ප්‍රශ්න කිරීම නතර කිරීමට “නිදහසට කාරණාවක්” වශයෙන් ඉහත පාඨය උගන්වනු ලබයි. මුළාවට පත් වූ අනුගාමික පිරිසද එය ගිරවුන් මෙන් සැම තැනම කියවමින් සිටී. ඔවුන් කෙරෙහි අනුකම්පා කරනු හැර වෙන යමක් කරන්නට ඉතිරිව නැත. ධර්මයට භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා කර ආර්ය උපවාද කරන් සිටින මේ අධර්මවාදීන් නිසා තවකෙක් ඒ අසරණ භාවයට පත්වීම වැලැක්වීමේ අදහස පෙරදැරිව අප විසින් මේ ලිපිය සම්පාදනය කරන්නේය.

මදකට සිතා බලන්න, වචන, පද අමතක කළා නම් මේ ශාසනයේ මුඛ පරම්පරාවෙන් පැමිණ ධර්මය අපට ලැබෙන්නේ ද නැත. ධර්ම සංගායනා සියල්ල අහෝසි වී යනු නොඅනුමානයි මන්ද යත් භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ශ්‍රාවක සංඝ රත්නයට ද අමතක වන බැවිනි. එය එසේ නම් භාග්‍යවතුන් වහන්සේ පළමු දේශනාවට කළින්ම අද පටන් සියලු දෙනාට පද අමතක වේවා!!! අර්ථය වැටහේවා!!! යැයි අධිෂ්ඨාන කළ යුතුව තිබුණි.

මෙවැන්නක්වත් සිතීමට තරම් මානසික හැකියාවක් නැති මේ අධර්මවාදීන්, වරදවා ගත් අර්ථ තම අනුගාමිකයන්ට උගන්වා තම විකෘති මතය ඉහත වරදවා අල්ලාගත් නිදහසට කාරණාව ද උලුප්පවමින් සමාජගත කරමින් සිටී. බොහෝ අකුසල් රැස් කර මේ පිරිස මරණින් මතු නිරයගාමී වීමට දැනටමත් මං පෙත සාදාගෙන හමාරයි.

මේ අධර්මවදීන් නිසාම මේ ශාසන පරිහානිය විනාශය සිදුවේ.

“මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතුවන මේ කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවා ද? වැරදි විදියට ගළපන ලද වචන ප්‍රකාශ කිරීමත්, වැරදි විදියට කරන්නා වූ අර්ථ විග්‍රහයත් ය. මහණෙනි, වැරදි විදියට ගළපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට වැරදි අර්ථ මතුවෙනවා ම යි. මහණෙනි, මේ වනාහී සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන කාරණා දෙකයි.”

ඇසුර : සම්මොස සූත්‍රය, අධිකරණ වර්ගය, දුක නිපාතය, අඞ්‌ගුත්‌තර නිකාය

සියලු දෙනාම මේ මිසදුටු අධර්මවාදීන්ගේ මත සහ අසත්පුරුෂයන්ගෙන් මිදී, ශාසන චිරස්ථිතිය උදෙසා ශ්‍රී සද්ධර්මය එලෙසටම ඉස්මතු කරත්වා! වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සහවෙත්වා!!!

තෙරුවන් සරණයි!!!

මෙත් සිතින්,
ශාසන හිතැති ශ්‍රාවක

ලිපිය සම්පාදනයෙහි ලා දහම් කරුණු, බුදු සරණ සහ මහාමේඝ සදහම් පුවත් සඟරා මඟින් උපුටාගන්නා ලදී.