එදා සිද්ධාර්ථ ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම ගුරු උපදෙස් කිසිත් නැතිව සියලු කෙලෙස් නසා බෝධී මූලයේදී ඒ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක. ඒ මොහොතේදී පෙනී සිටි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේට ඒ මොහොතේදීම “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි.” යනුවෙන් අරාධනා කළ මුත් භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.

උන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රැත වූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරීම අපෙක්ෂා කළ සේක. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාර්‍ය්‍ය සහිතව ධර්මය දේශනා කරන්නට තරම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් දක්ෂ වන තුරු පිරිනිවන් නොපාන බව වදාළ සේක.

එසේ නම් අධර්මය පෙරටත් වඩා භයානක ලෙස පැතිර යන මේ යුගයේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස අප කුමක් කළ යුතු ද? නිහඬව පැත්තකට වී ඕනම කෙනෙක් ඕනම දෙයක් කරගත්තාවේ අපි අපේ පාඩුවේ අපේ ගමන යන ප්‍රතිපත්තියක් අනුගමනයට අනුබලයක් ලැබේද? නැත. ද්වේශ කරමින් කලහ කරගැනීමට ද මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් කිසි සේත්ම අනුබලක් නම් නැත.

නමුදු අධර්මය, ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට මැඩලීම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ යුතුකමකි. මේ උතුම් ශ්‍රී සද්ධමයට කරන කළගුණ සැලකීමකි. අතීතයේ වැඩ සිටි මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා කර මේ ශ්‍රී සද්ධර්මය සුරැකියේද ඒ උතුම් ගුණ ධර්මය මත පිහිටාය. අතීත රජ දරුවන් බුදු දහම සුරැකීමට රාජ්‍ය අනුග්‍රහය දැක්වූයේද ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති ඉමහත් පැහැදීම සහ ඊට කරන කළගුණ සැලකීමක් වශයෙන්ය. එසේ නම් අපි අධර්මය හමුවේ නිහඬව බලාසිටිමුද?

තෙරුවන් සරණයි!!!