අදින් වසර 2562 ට පෙර සකල ලෝක ධාතුවම කම්පා කරවමින් දෙවිඹබුන් ඇතුළු මිනිසුන් සසර දුකින් මුදාලූ මාගේ අමාමෑණි බුදුපියාණෝ මෙලොව එළිය දුටු සේක. එදා දීපන්කර බෝධි මූලයේදී සකල කෙලෙසුන් නසා අරහත්වයට පත්වීමට හැකියාව තිබියදීත් අසරණ ලෝක සත්වයා දෙස මහා දයානුකම්පිත වූ කරුණාව මෛත්‍රිය පෙරදැරිව ඔවුන්ද සසර දුකින් ගලවා ගැනීමට විවරණ ලද්දේය.
එයින් ඇරැඹි සමතිස් පාරමිතා පූරණය කරමින් සාර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් සංසාර සාගරයේ අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලුවලට මුහුණ දෙමින්, මහ පොළොව තරම් ශරීර මාංශයක්, අහසේ තරු තරම් නේත්රාත් සතර මහා සාගරය අභිභවා රුධිරයත් අවසානයේ අඹු දරුවන් පවා දන්දෙමින් පාරමිතා පුරණය කළේ උන්වහන්සේගේ සුඛ විහරණය සඳහා නොව ඒ අප සියලු දෙනා කෙරෙහි පතල මහා කරුණාව නිසාය.
බටහිරින් අපට ලැබුණු අධ්‍යාපන රටාවත් දියුණු යෑයි පවසන විද්‍යාව හා තාක්ෂණයත් කරපින්නා ගත් අපි අපේ වටිනා සංස්කෘතිය, ඉතිහාසය හා අධ්‍යාපන ක්‍රමය සහමුලින්ම අමතක කරදමා ඇත. අප සංස්කෘතිය බෞද්ධ දර්ශනයෙන් මනා ලෙස ඔප මට්ටම් වී හික්මී පැවැතුණු යුගයක නොයෙක් නොයෙක් ආක්‍රමණ හරහා එය වසා දැමුවේය. නමුත් පිරිනිවන් මංචකයේදී බුදු මුවින් වදාළ ලෙසට සම්බුද්ධ ශාසනය වසර 5000 ක් අප ලංකාද්වීපයේ පවතින බවත් බඩවියත වරදාන ගැන නොසිතා මහා සංඝරත්නය එය ආරක්ෂා කළ නිසාත් අපිට අද පිරිසිදු ථෙරවාදී බුදුදහම ඇසීමට හැකියාව ලැබී ඇත.
අද වනවිට ත්‍රිපිටකය නොදත් සඟ පරපුරක් හා ඉතිහාසය නොදත් මිනිසුන් පිරිසක් බිහිවීම සිදුවෙමින් තිබේ. එහි ශෝචනීය අවස්ථාවට අපි අද එළඹ සිටිමු. බුදුන් වහන්සේ දේශනා කළ ලෙසටම අධර්මය ධර්ම වෙස්ගෙන අප ශාසනය නසන්නට කඳවුරු බැඳ ගත්තෝ දැන් දැන් එළිපිට පහර දෙන්නෝය. වසර ගණනාවක් පිඹුරුපත් සකස් කළ වුන් දැන් දැන් ඒවා ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරමින් සිටී.
බුදුන් වහන්සේ වදාළ ලෙස තර්කයට ගෝචර නොවූ මහා දර්ශනයක් වූ බුදුදහම ප්රඥවන්තයින්ට මිස අනෙකෙකුට ගෝචර නොවේ. නමුත් අද පවතින ලෝකයක, උගත් යෑයි සම්මත පිරිස් විසින් බුද්ධ වචනය වෙනස් කොට තම නැණට ගැළපෙන ලෙස පවසන, විද්‍යාව හා මනාව ගළපන බහුශ්‍රැත පණ්ඩිතයන් මේ සිදුකරමින් පවතිනුයේ මහා අපරාධයකි. නිරයගාමී පාපකර්මයකි. ඉතා පැරැණි ග්‍රන්ථවන ත්‍රිපිටකය, මහා වංශය, විශුද්ධි මාර්ගය වැනි පතපොත සාවද්‍ය බව පවසන ඔවුහු විටෙක තම මත හුවා දැක්වීමට එයම යොදා ගැනීම හාස්‍යයට කාරණයකි.
අහිංසක බෞද්ධයා ආර්ය උපවාදයෙන් බියවද්දා, උන්වහන්සේ අරියතුන් වහන්සේ බව පවසමින් අහිංසක බොදුනුවා මුලාකරමින්, සතර සංග්‍රහ වස්තුවලින් නොඅඩුව සංග්‍රහ ලබමින් එම ස්වාමීන් වහන්සේ කර ගනිමින් සිටින්නේ නිරයගාමී අකුසලයක් නොවේද? එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ත්‍රිපිටකය යම් තරමකින් උගෙන එහි නියම අරුථ සඟවමින් සිංහල පදවලට නිරුක්ති සපයමින් උගත් බුද්ධිමත් යෑයි කියන අයට පමණක් වැටහෙන ධ්‍යාන ඵල, මාර්ග ඵල දින ගණනක වැඩසටහනකින් ලබාදීම බුදුදහම හෑල්ලුවට ලක් කිරීමක් නොවේද? “ලොව අමාවක් ලෙස ගත් නිසා” ලෝමා යෑයිද පට්ට හෙවත් හොඳ/ඉහළ යන අරුතින් පට්ඨාන ධර්ම යෑයිද උන්වහන්සේ දේශනා කරයි. එය බැලූ බැල්මට ඉතා සාධාරණ නිවැරදි ලෙස පෙනෙන නමුත් ත්‍රිපිටකයට අනුව එය මහා ගජ භින්නයකි.
තවත් ස්වාමීන් වහන්සේ නමක් සෝවාන්, සකෘදගාමී, අනාගාමී හා අරහත් මාර්ග ඵල තම ශ්‍රාවකයන්ට පහසුවෙන් ලබාදෙන අතර “පොකුරු පිටින් ඉරිසියා කළ වුන්” පොකිරිස්සන් වන බවත් ගම් නම් අලෙන බවත් පහ යනු පංචඋපාදානස්කන්ධයක් වනබැවින් ගම්පහ යනු පංචඋපාදානස්කන්ධයට ඇලීම යෑයි පද නිරුක්ති සපයයි. අර්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිලිසිඹියා ඥන සහිත රහතන් වහන්සේට පමණක් බුදුරදුන් වදාළ ධර්මයේ පද නිරුක්ති දිය හැකි අතර එයද සිංහල පදයට නොවේ. ධර්මය හොඳින් නොදත් බෞද්ධයා ඔවුන්ගේ සූක්ෂම ක්රමෝපායන් මගින් අධර්මයට යොමුකර ගැනීම සිදුකරයි. අප මෙතෙක් කල් සමාදන් වූ පංචසීලයද දැන් සිල්පද 17 න් යුක්ත සීලයකටද ආර්ය මෛත්‍රී භාවනාව නම් නවීන භාවනාවක්ද බුද්ධවචනයට පරිබාහිරව හඳුන්වාදී ඇත.
එහි රසවත්ම හා හාස්‍යයම කරුණු ගෙනහැර දක්වන තවත් වයස්ගතව මහණ වූ භික්ෂූන් වහන්සේ නමක් බුදුන් වහන්සේ උපන්නේ මේ හෙළ බිමේ බවත්, බුද්ධ චරිතයට අදාළ ස්ථානයන් නම්කර පෙන්වන අතර එය තහවුරු කිරීමට බාල බොළඳ තර්ක ඉදිරිපත් කරයි. බුදුන් වහන්සේ දේශනා කළ ලෙසට බෞද්ධයෙකු දැක පහන් සංවේග උපදවාගත යුතු ස්ථාන වන බෝසතාණන්ගේ ඉපදුණු ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව, සිදුකළ ස්ථානය හා පරිනිර්වාණය සිදුවූ ස්ථානය යන සතර ස්ථාන අමු අමුවේ වෙනස් කරමින් මේ පහර දෙන්නේ බෞද්ධයාගේ පංච බල ඉන්ද්‍රියන්ගේ ප්‍රථම බලඉන්ද්රිය වන ශ්‍රද්ධා ඉන්ද්‍රියට නොවේද? ඔවුන් ඉදිරිපත් කරන තර්කද බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනුනද තොරතුරු සෙවීමෙන් එහි සත්‍යතාව දැක හැකිය. (තොරතුරු සාක්ෂි සහිතව පසු ලිපි මගින් පෙන්වා දිය හැකිය.) හෙළ ප්‍රෙෘඪ සංස්කෘතිය හා ජාතිකාලයෙන් ඔද වැඩුණු හෙළයන් සහ සංවිධාන වක්‍රාකාරව මේ සඳහා උපයෝගී කර ගෙන ඇති බව දැන් දැන් දැකගන්නට ලැබේ.
සියලු ලිඛිත සාක්ෂි බොරු කරමින් (මහා වංශය, හියුං සියුං හා පාහියන් නම් චීන භික්ෂූන්ගේ දේශාටන විත්ති ඇතුළත් ගන්ථ) පුරාවිද්‍යා සාක්ෂි (සෙල්ලිපි, ටැම් ලිපි, පෞරාණික නෂ්ටාවශේෂ, සෙල්ලිපි ගැන ලියවී ඇති පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේගේ හා පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතානයන්ගේ ග්රන්ථ) හා ජන පුරාවෘත බොරු කරමින් එක ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ මනෝ වෘත්තාන්තය තර්කනයකින් තොරව පිළිගැනීමට තරම් ලද බොළඳ වී ඇත. ඔවුන් එම තොරතුරු ග්‍රන්ථාරූඪ කර බෙදා හැරි අතර නඩු තීන්දුවකින් එය නතර කරන්නට බෞද්ධ බලවේගයන්ට හැකි විය. නමුත් දැනටද නීත්‍යානුකූල අවසරයකින් තොරව මුදල් පිණිස හිතුමතේ ලියන පොතපත ප්‍රසිද්ධ පොත්හල්වල හා බෞද්ධ පොත් පමණක් විකිණීමට ඇති ස්ථානවල පවා මේවා විකිණීමෙන් ඔවුන්ගේ වැඩපිළිවෙළ මොනවට පැහැදිලි වේ.
මෙවන් වාතාවරණයක් තුළ හුදෙකලා භික්ෂු සටන් එක්කොට ලබුනෝරුව ආරණ්‍ය සේනාසනය විසින් පසුගිය මැයි 12 වැනිදා ත්‍රිපිටකධාරී, විනයධර, ශාසනකාමී, භික්ෂූන් වහන්සේලා එක්රැස් කරගෙන රුවන්වැලි මහා සෑ රදුන් අභියස භික්ෂු සමාගී්රය විදහා දක්වමින් පවත්වන්නට යෙදුණු අභිධාර්මික සම්භාෂණය මගින් ලෝකවාසී සියලු බෞද්ධයන් පිබිදියා පමණක් නොව මෙතෙක් කල් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ස්වාමීන් වහන්සේ ගම් මට්ටමින් මේ පිළිබඳ දැනුවත් කරන්නට යෙදුනු එමෙන්ම ත්‍රිපිටක පොත්වහන්සේ ග්‍රාමීය පන්සල්වලට බෙදාදීමද ඔවුන්ගේ මහා අභිප්රායන් අතර විය.
එහි දෙවන අදියර ලෙස පැවැති විභඡ්ජවාද මහනුවර අස්ගිරි මහ විහාරයේ පැවැති වැඩසටහනේදී ද මේ පිළිබඳව ස්වාමීන් වහන්සේලා හා ජනතාව දැනුවත් කෙරුණු අතර විශේෂයෙන්ම ෙත්රෙ නිකායික හිමිපාණන් වහන්සේගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන ලදී.
උගත් ස්වාමීන් වහන්සේගේ දැනුවත් කිරීම් හමුවේ තරමක් දුරට පසුබැස ඇති අබෞද්ධ ශාසන විරෝධී පිරිස් අලුයට ඇති ගිනි පුහුරු වැනිය. කොයි මොහොතක හෝ පිපිරීමට බැරි නැත. දීර්ඝකාලීන සංවිධානාත්මක වැඩපිළිවෙළක අවසන් ප්‍රතිඵලය දකින අපි එය එක් රැයකින් අවසන් කළ හැකි යෑයි මා කිසිසේත් නොපවසමි.
ඉදිරියේදී ඔවුන්ගේ තර්ක එකින් එක බිඳලමින් කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
වෛද්‍ය හසන්ත පතිරණ
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
:::::: ශ්‍රාවක :::::::