වහරකවාදීන් වෙනස්කල තිලකුණ

//වහරකවාදීන් වෙනස්කල තිලකුණ

වහරකවාදීන් වෙනස්කල තිලකුණ

thilakuna

මා හට මෙ සටහනේ මුල් කොටස ලියා එව්වේ මා මිත්‍ර ලෝචන ප්‍රේමතුංගයි. Lochana Prematunga

මෙතැන් සිට කරුණු පැහැදිළි කිරීමට වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ධර්මය කෙටියෙන් හැඳින්වීම පිණිස “වහරක වාදය” ලෙසත්, මම දැනට විශ්වාස කරන ධර්මය කෙටියෙන් හැඳින්වීම පිණිස “ථේරවාදය” ලෙසත් භාවිතා කරන අතර අදාළ පාර්ශවයන්ගෙන් ඊට උරණ නොවන ලෙස අයැද සිටිමි.

මෙහිලා අනිච්ච / අනිච්ඡ, දුඃඛ, අනත්ත / අනත්ථ යන පදයන්හි තේරුම් වාද දෙකට අනුව වෙන වෙනම සලකා බලමු.

අනිච්ච

ථේරවාදයට අනුව අනිච්ච යනු අනිත්‍යයි.
වහරක වාදයට අනුව අනිච්ච යනු කැමතිසේ නැති බවයි.

දුඃඛ

ථේරවාදයට අනුව දුඃඛ යනු දුඃඛ ආර්ය සත්‍යයි.
වහරක වාදයට අනුව දුඃඛ යනු දුකයි.

අනත්ත

ථේරවාදයට අනුව අනත්ත යනු ආත්ම වශයෙන්, තමා වශයෙන් පැවැත්විය නොහැකි බවයි.

වහරක වාදයට අනුව අනත්ත යනු අර්ථයක් නොමැති බව හෙවත් අසාර බවයි.

එනමුත් හරයක් නැති බව අනාත්ම ලක්ෂණය තුල තිබෙන අර්ථයක් පමනි.
අනත්තං අසාරකට්ඨෙන

අසාර බව හෙවත් හරයක් නැති බව අනාත්මයේ ලක්ෂණයක්

මේ කරුණු සියුම්ව විමසා බැලීමේදී පෙනීයන්නේ වහරක වාදයේ එන අනිච්චය යනු අර්ථ වශයෙන් ථේරවාදයේ එන අනත්තයට සමාන බවයි.
වහරක වාදයේ එන අනත්තය හෙවත් හරයක් නැති බව ථේරවාදයේ ත්‍රිලක්ශණයට අදාල නොවුනද ධර්මයට අලුත් අදහසක් නොවේ.
ඒ අනුව ( අනිච්චය සහ අනත්තය සලකා බලනවිට) සැබවින්ම සිදුවී ඇත්තේ ථේරවාදයේ එන අනිත්‍ය ත්‍රිලක්ෂණය තුලින් ඉවත් කිරීම පමණි.

දුඃඛය සලකාබලන විට ථේරවාදයේ එන දුඃඛ ආර්ය සත්‍ය වෙනුවට වහරක වාදයේදී හුදෙක් දුඃඛය හෙවත් දුක / දුක්ඛ වේදනාව යන්න ආදේශ කොට ඇත.
ඒ ඒ අවස්ථාවේදී සත්වයනට ඇති වන ජරා, මරණ … කැමති දේ නොලැබීම අදීවූ දුක්, දුකක් බව තේරුම් ගැනීමට තිරිසන්ගත සත්වයකුට වුවද හැකි බව විවෘත මනසකින් සිතන්නකුට හැකි වේයයි සිතමි.
ඒ අනුව වහරක වාදයෙන් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ථේරවාදයේ ඇති දුඃඛ ආර්ය සත්‍ය ඉවත් කිරීම පමණි.

ඒ අනුව මේ ත්‍රිලක්ෂණ කථාවේ සම්පූර්ණ විග්‍රහය මෙසේ වෙයි:
“තේර වාදයෙන් දුඃඛ ආර්ය සත්‍ය සහ අනිත්‍ය ඉවත් කිරීමෙන් වහරක වාදය ගොඩනගා ඇත.”

ඒ අනුව මතුවන ගැටලුව නම් ථේරවාදයේ පිහිටා ලබාගත නොහැකි නිවනක් එයින් කොටසක් ඉවත්කර ව්‍යුත්පන්න කල වහරක වාදයෙන් ලබාගන්නේ කෙසේද යන්නයි.

වහරක වාදයත් ථේරවාදයත් අතර වූ මතවාදී ගැටුම මෙතරම් දුර දිග යාමට එක් හේතුවක් නම්, වහරක වාදීන් දක්වන අනිච්ච හෙවත් කැමති සේ නැති වීම යනු ථේරවාදයේ එන අනත්තය බව අවබෝධ කර නොගැනීමයි.
කැමති සේ නොපැවතීම වැරදි යැයි තර්ක කරන්නට යාම ථේරවාදයේ අනත්තයට විරුද්ධව තර්ක කිරීමකි. කළයුත්තේ අනිත්‍ය සහ දුඃඛ ආර්ය සත්‍ය ඉවත් කිරීම වැරදි බව පෙන්වාදීමයි.

……………………..……………………..……………………..…….

සුලු කණ්ඩායමක ට හිතුමතේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය විනාශ කිරීමට දීම බලවත් වරදකි . උතුම් වු ශ්‍රී සද්ධර්මය විනාශ කිරීම් හමුවේ මුනිවත රැකීම ද වරදකි. නොදන්නා සේ නොදැක්කා සේ සිටීම සිටීම ද වරදකි. ශ්‍රී ලංකා රජය ඇතුලු මහ නායක හිමිවරුන් විද්වත් මණ්ඩලද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ යුතුව ඇත. සුළු කණ්ඩායමක් වුවත් මේ අයුරින් ඔවුන් කැමැති පරිදි ශ්‍රී සද්ධර්මය වෙනස් කරමින් , විශේෂයෙන්ම තිලකුණ වෙනස් කිරිම වරදක් බව පෙන්වා දී ,,, නීතිමය කටයුතු ගත හැකිනම් , වහ වහා නීතිමය පියවර ගෙන , අදාල පාර්ශ්ව ශ්‍රී සද්ධර්මයට අර්ථකතන දෙමින් ධර්මය විකෘති කිරීම සම්බන්ධයෙන් , වැරදිකරුවන්ද යන්න සොයා බැලිය යුතුව ඇත. එසේ නැතහොත් විද්වත් මණ්ඩලයක් හමුවේ ඔවුන් විසින් ආන්දෝලනාත්මකව තිලකුණ ඇතුලු පාලි වදන් වල අර්තයන් වෙනස් කිරීමේ මේ දැවැන්ත ශාසනික අර්බුදය විභාග කොට ,වහ වහා මේ සම්බන්ධයෙන් එකඟතාවයකට සම්මුතියකට පැමිණිය යුතුය .ඒ සඳහා උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා මෙන්ම පාලි භාෂාව සහ ධර්මය උගත් ගිහි උගතුන්ගේ දායකත්වය ලබාගත යුතුයි.

ප්‍රශ්නය බොහෝ දුරට උඩුදුව ගොස් ඇතිමුත් තවමත් ගිහි පැවිදි විද්වත් උතුමන් ගේ අවධානයට ලක්වී නැති බවක් පෙනෙයි..එබැවින් මෙම ශාසනික ප්‍රශ්නය ගැන ඔබත් හොඳින් දැනුවත් වී ඔබේ පන්සලේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාට දන්වා සිටින්න මහා නායක ස්වාමීන් වහන්සේලාට දන්වා සිටින්න.

මේ අයුරින් ධර්මය අධර්මය වූ විට විශේෂයෙන්ම තිලකුණ නැති වූ විට , අතුරුදහන් වූ විට අනාගතය උදෙසා සද්ධර්මය අතුරුදහන්වී යයි. අනාගත පරම්පරාවට .විකෘතිකල එක් එක් අයගේ පුද්ගලික අදහස් මඟින් වෙනස් ව ගිය ධර්මයක් අනාගතයට එකතුවීම සිදුවේ. එමෙන්ම අනාගත බෞද්ධයන්යට තමන්ට දායක වූ ශ්‍රී සද්ධර්මය ගැන විශ්වසනීයත්වයක් නැතිවේවි. ධර්මය වෙනස් වී ඇති බව දැකීමෙන් දුකට පත්වේවි. එක් එක් පොත් වල එක් එක් මාධ්‍යවල ධර්මය විවිධ අයුරින් දේශනා කර ඇති අයුරු දැකීමෙන් කණගාටුවට පත් වේවි…මෙය කෙතරම් ඛේද ජනකද? එය වළක්වා ගැනීම මේ පරම්පරාවේ වගකීමයි .ශ්‍රී සත්ධර්මය රැක ගැනීම අප සැමගේ යුතුකමකි . එම යුතුකම පැහැර නොහැර සියලු දෙනා එක මවකගේ දරුවන් මෙන් ධර්මය රැක ගැනීම පිණිස කටයුතු කරන මෙන් කරුණාවෙන් මතක් කර සිටිමු…..
තේජනු ද සිල්වා

2018-02-11T08:47:41+00:00February 11th, 2018|Categories: ශ්‍රාවක සටහන්|Tags: , |