වලස්මුල්ලේ අභය හිමිට අනූව අපවත් වුණු වහරක අභයරතනාලංකාර හිමි උපතින්ම සෝතාපන්න වූ කෙනෙක්ලු. සසරේ පෙරුම් පුරා ඇවිත් මලියදේව මහ රහතන් වහන්සේගෙන් බණ අසා සෝතාපන්න වූ කෙනෙක් ලු. අපි මදකට බලමු මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය.
අනිවාර්යයෙන් සෝතාපන්න වෙච්ච කෙනෙක් තිසරණයෙන් බැහැර වෙන්නේ නෑ. වෙන පිහිටක් පතන්නේ නෑ. මන්තර ගුරුකම් කට්ටඩිකම් මොකටද තිසරණය පිහිටි කෙනෙක්ට. නමුත් සෝතාපන්න මාර්ගඵලයටද නිග්‍රහ වෙන විදිහේ මතවාද කියමින් නිගරු කරමින් සෝතාපන්න අය කට්ටඩියන් ලෙස වැඩ කරන බව නොවේද මේ වලස්මුල්ලේ හිමියන් පවසන්නේ. හොඳයි අපි මදකට කට්ටඩිකම් අමතක කර බලමු මේ ජාත-සෝතාපන්න කතාවේ ඇත්ත නැත්ත වෙනත් කෝණයකින් දහමට ගලපාම.
“මලියදේව මහ රහත් හිමි වැඩ විසූ කාලය
සාලිය කුමරු පෙරභවයේ දී දුන් දානයක් උන්වහන්සේ පිළිගත් බව මහාවංශ ටීකා හා පාලි රසවාහිණී කියන බැවින් උන්වහන්සේ වැඩ සිටියේ දුටුගැමුණු රජු යුගයට (ක්‍රි.පූ. 161 – 137 ) කිට්ටු කාලයක බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අදහස් කරති.”
තවත් උපුටා ගැනීමකට අනූව “මලියදේව මහරහතන් වහන්සේ අපේ රටේ සිටි අවසන් රහතන් වහන්සේ ලෙස අංගුත්තර නිකායේ මනෝරථ පූර්ණී අටුවාවේ සඳහන් වෙනවා. ඒ වගේම මහාවංශය, බෝධි වංශය, ධාතුවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල මලියදේව නමින් රහතන් වහන්සේ හය දෙනකු සිටිය බව සඳහන් වෙනවා. මේ රහතන් වහන්සේ හය නම අතරින් අන්තිම රහතන් වහන්සේ වන්නේ ගෝඨාභය රජ දවස සිටි (එනම් ක්‍රි.ව. 253 හා ක්‍රි.ව. 266 කාලයේ) වනගුප්ත මලියදේව රහතන් වහන්සේ”
මේ අනූව පැහැදිලියි මීට වසර 2155 (2018 + 137) හෝ 1752 (2018 – 266) විතර කළින් තමයි ලංකාවෙ වැඩහුන් මලියදේව මහ රහතන් වහන්සේ වැඩ හිඳ ඇත්තේ. දැන් කෙනෙක් කියනවා මලියදේව මහරහතන් වහන්සේගෙන් බණ අසා සෝතාපන්න වී මෙකල මනුලොව ජාතසෝතාපන්නව උපන්නා කියලා. මෙය විය හැකි ද?
යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;
කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා, න තෙ භවං අට්ඨමමාදියන්ති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු – ඇසුර : රතන සූත්‍රය
“ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!”
අවෙච්චප්පසන්න සූත්‍රයේ (අඞ්‌ගුත්‌තර නිකාය » දසක නිපාතය » යමක වර්ගය ) මෙහෙම සඳහන් වෙනවා සෝතාපන්න ශ්‍රාවකයන් කොටස් තුනක් ඉන්නවා. ඒ තමයි කලුරිය කිරීමෙන් පසු, ඒකබීජී හෙවත් එක ජීවිතයක් තුළ දුක අවසන් කරන තැනැත්තා, කෝලංකෝල හෙවත් ජීවිත දෙකක් හෝ තුනක් හෝ සයවෙනි වාරයක් දක්වා ඉපිද දුක් අවසන් කරන තැනැත්තා, සත්තක්ඛත්තුපරම හෙවත් ජීවිත සතක් ම දෙවියන් අතර සහ මිනිසුන් අතර ඉපදී දුක් අවසන් කරන තැනැත්තා වශයෙන්. මීට අමතරව මේ කරුණු ගැනම එකබීජී සූත්‍රය (සංයුත්‌ත නිකාය » මහා වර්ගය » ඉන්ද්‍රිය සංයුක්තය » ඡළින්‌ද්‍රිය වර්ගය), තතියසික්‌ඛා සූත්‍රය (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » ශ්‍රමණ වර්ගය) ආදී සූත්‍ර රැසක දකින්න පුළුවන්.
මේ අනූව වහරක අභයරතනාලංකාර හිමි දිගටම මනුෂ්‍යන් අතර ඉපදුනා නම් (පරමායුෂ වසර 120ක්ම කියමුකෝ ඉතින් ) උපරිම භව 7 ඇතුලත පිරිනිවන්පාන්න ඕන. 120 x 7 = වසර 840. එහා කාලෙක ඒ කිව්වේ මෙකල උපදින්න බෑ. ඇයි ඊට කළින් භව 7ක් උපරිම කොට පිරිනිවන්පාන නිසා.
හොඳයි සෝතාපන්න වූවාට පසු භවයේ අවම ආයුෂ තියෙන දිව්‍ය ලෝකය වන චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ ඉපදුනා කියලා උපකල්පනය කරමු.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව්ලොවට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වේ. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 90 00 000 (අනූ ලක්‍ෂය) කි. (50 x 30 x 12 x 500 = 90 00 000). එතකොට මලියදේව මහරහතන් වහන්සේගේ කල චාතුර්මහාරාජිකයේ උපන් කෙන්ක් ගේ උනත් ආයුෂ ඉවර වෙලා චුතවෙන්න අවුරුදු අනූලක්ෂයක් යනවා. ඒ අනූව ඉතාම පැහැදිලියි මලියදේව මහ රහතන් වහන්සේ වැඩසිටි කළ සෝතාපන්න වෙච්ච කෙනෙක් මෙකළ ජාතසෝතාපන්නව මනුලොව උපදිනවා යන්න එසේ නම් විය නොහැකියි.
මෙම කෙටි විඩියෝව නරඹා පිරිනිවන්පෑවා යැයි වහරක වාදීන් කියන ජාතසෝතාපන්නව උපන්නා යැයි කියන වහරක අභයරතාලංකාර හිමිගේ නිරුක්ති ඥාණය පිළිබඳව, එය කුමන ආකාරයේ හැකියාවක් දැයි පසක් කර ගැනීමට ඔබට අවිවාදයෙන්ම හැකිවනු ඇත. ඒ වගේම තම ගුරු හිමි ගැන කියන වලස්මුල්ලේ අභය හිමිගේ ඥාණයේ සැබෑ මට්ටමද ඔබට වැටහෙනු ඇත.
තෙරුවන් සරණයි!