මෙල්බන් නුවර වාසී සිංහල බෞද්ධ වැසියනි,

කාලාම සූත්‍රයේ කේසපුත්ත නියම්ගම බඳු වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට කලින් කලට බෞද්ධ භික්ෂූන් වේශයෙන් පැමිණෙන සම්බුද්ධ ශාසනය වනසන අධර්මවාදී ශාස්තෲ වරුන්ගෙන් ඔබේ තිසරණය රැකගැනීමට ඔබ කුමක් කල යුතුද ?

සසුන කෙත වනසන කඳපනුවන් සසුන තුළින්ම මතුවී විත් ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි විවිධාකර මත බුදු දහම නමින් සමාජගතකරමින් සිටී. ශාසනය අතුරුදහන් වීමට හේතුවන්නා වූ අසද්ධර්මය, සද්ධර්මයේ නාමයෙන් පවසන මොවුහූ සද්ධර්ම ප්‍රතිරූපකයෝය.
මේ සද්ධම්මපතිරූපකයන් අතුරින් කෙනෙක් තමන් බුදු වී ඇති බවත්, තවත් පිරිසක් අරිහතුන් වහන්සේලා යැයි ද තවත් කෙනෙක් පළමු ස්ටෙප් එකේ යැයි ද තමන්වම ප්‍රමෝට්කරගනී. වහරකාවාදී වලස්මුල්ලේ අභය නමින් පෙනී සිට අධර්මය ප්‍රචාරය නිසා සාමණේර පැවිද්ද ද අහිමි වූ රාජ් නිල්මිණී ද, බුද්ධ පූජාවට ගරහන ධාතූන් වහන්සේලාට සහ මහනායක ස්වාමීන් වහන්සේලාට ගරහා තුන්වෙනිපාරත් සමාවක් ලැබෙනතෙක් අපේක්ෂාවෙන් සිටින පිටිදූවේ සමන්ත/සිරිධම්ම නමින් පෙනීසිටින හාමුදුරුවෝද,  ගංවතුර ආධාරයෙන් බෙල්ලන්තර රංග පීඨයේ සුදු හුණු ගෑමට ඉදිරිපත්වුනු පළමු ස්ටෙප් එකේ සිටින තිත්ත්ගල්ලේ ආනන්දසිරි  හාමුදුරුවෝ ද, ධර්මය විකෘති කළ බව පිළිගත් හඳපාන්ගොඩ නිවාතාප නමින් පෙනීසිටින හාමුදුරුවෝ ද, ශ්‍රී සද්ධර්මය වෙනුවට මිෂානාරී වඳුරන්ගේ බළල් අතක් වී මිසදුටුව නමැති ගිනි අඟුරුගොඩේ ඇති සර්වබලධාරී මැවුම්වාදයේ මිත්‍යා දෘෂ්ටිය නැමැති කොස් ඇට බාමින් සිටිති.
මෙරට අධර්ම ප්‍රචාරය රිසි සේ කරගෙන ගොස් ඉන්පසුව ඒ සඳහා විදෙස්ගත පිරිස් ඉලක්කරගැනීමත් ඒ ඔස්සේ බොහෝ පිරිසක් මුළාකරමින් විනෝද සවාරි යෑමට විදෙස්ගතවන සද්ධම්මපතිරූපකයන්ගේ සුපුරුදු තෝතැන්නක් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අපට සිහිකරවන්නේ කාලාම වැසියන්ගේ කේසපුත්ත නියම්ගමය.
ඇයි බෙල්බර්න් නුවර මේ අයට මේ තරම් විශේෂ වන්නේ? පිළිතුර ඉතාම පැහැදිලියි. බෙල්බර්න් වැසි ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් සිටින අතර ඒ අයගේ ආදායම් තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පැවතීම. මෙවැනි පිරිසක් තමන්ගේ ඉලක්කය කරගෙන ඒ අයට මේ අධර්මය පවසා රවටාගතහොත් එන්.ජී.ඕ ඩොලර් වලට අමතරව තවත් විශාල ආදායමක් මේ ශ්‍රී ලාංකික ධනවත් බහුතරයකගෙන් ලබාගැනීමට හැකි බව මේ අය දැනටමත් දන්නා කාරණාවක්. සැදැහැයෙන්ම බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාගකරන්න පුණ්‍ය කටයුතුවලට යොදවන්න තියෙන මුදල් පිරිස් රවටා අධර්මයක් පවසා පුද්ගලික සුඛ විහරණය පිණිස භාවිතයට ගැනීමේ අරමුණින් ලාභසත්කාර අපේක්ෂා පෙරදැරිව කටයුතු කිරීම සද්ධම්මපතිරූපක මේ පිරිසගේ ජීවනෝපායයි.
කාලාම වැසියන් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා “ස්වාමීනී, කේසපුත්ත නියම්ගමට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ තමන්ගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනී, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුනුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නෙත් තමන්ගේ මතමයමයි. ඒකමයි මතුකරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙළා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනී, ඒ අප තුළ සැකයක්මයි ඇතිවෙන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා.” – කාලාම සූත්‍රය (අංගුත්තර නිකාය – තික නිපාතය – මහා වර්ගය )
දැන් මෙල්බර්න් නුවරට එන මේ සද්ධම්මපතිරූපකයෝද විටෙක තමන් බුදු වී ඇතැයිද, අරිහතුන් වහන්සේලා යැයි ද අසවල් ස්ටෙප් එකේ යැයි ද, අරිහත් තෙරණියක් යැයි ද, සතියෙන් අසවල් ඵලය ධ්‍යානය ලබාදෙන බව ආදී නොයෙකුත් වහසි බස් දොඩති. තමන්ගේ මතය හුවා දක්වනවා මිසක ධර්මය හෝ ශාස්තෲන් වහන්සේව හුවා දක්වා ධර්මය ඉස්මතු කිරීමක් මේ සද්ධම්මපතිරූපකයන් තුළ කොහෙත්ම නැත. ඇතැමෙක් කෙටි මං පෙන්වන්නට යති. නතරවන්නේ බඩ එළිය යෑමෙන් පමණක් නොව තිසරණයද නැතිකරගෙන නිරයට මං විවරකරගෙන බව සිහිතබාගත යුතුය. ධර්මය අවබෝධ කළ හැකි සුදුසුම පහසුම ආකාරය ස්වාක්ඛාතව භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට ඇති බවත් දෙවියන් බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත ලෝකයේ කිසිම කෙනෙකුට ඕක ඔහොම නෙමෙයි මෙහෙමත් පුළුවන් ඔයිට වඩා මේ ක්‍රමය පහසුයි  කෙටියි හෝ අකාලික මුණි දහම යල්පැනලා මේක මොඩර්න් ක්‍රමේ යැයි කරුණු සහිතව පෙන්වාදෙන්න බැරි බව සැබෑ ලෙසම තිසරණය සරණ ගිය ශ්‍රාවකයෙකු දැනගතයුතුම කරුණකි.
භාග්‍යවතුන් වහන්සේ කාලාම වැසියන්ට දේශනා කරනවා ඒ අය සැක කළ යුතු දේම සැක කළ යුතු තැනේම සැක කළ බවත් රාග, ද්වේශ, මෝහ අකුසලයට අයත් අහිත පිනිස පවතින් දෙවල් “කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ  කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් කුසල්, මේ මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, එය ඔබ තුළ ඇතිකරගෙන වාසය කරන්න.”  කියා.
එහෙනම් ඉතාම පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ කාලාම වැසියන්ට ලබාදුන් අවවාදය මෙල්බර්න් වැසියන් පමණක් නොව සියළුම දෙනාම සිහිතබාගත යුතුය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳයි මේක කුසල් මේක අකුසල් කියලා අපිම තීරණය කරන්නේ කොහොම ද? මේ අය කියන්නෙත් නිවන් දකින්න කියලා නොවෑ. ඉතින් නිවනට උත්සහවත් වීම අකුසලයක් නොවේනේ කියලා. එතනදී ඔබ දක්ෂවෙන්න ඕන අර පෙන්වාදීපු කරුණු 10න් බැහැරවෙලා මේ සද්ධම්මපතිරූපක කියන කාරණා පිරිසිදු බුද්ධ දේශනාවටම ගලපා විනය හා සසඳා බලන්න. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ මහාපදේසදේසනා සූත්‍රයේ (අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය – සඤ්චේතනිය වර්ගය) මනාකොට පෙන්වාදුන්නා.
උදාහරණයක් දෙකක් කිව්වොත් කෙනෙක් කියන්න පුළුවන් තමන් බුදු වෙලා කියලා. එන්න මගේ ගාවට මම ගාව හරි දේ තියෙන්නේ, මම තමයි ලොව එකම රහතුන් වහන්සේ කියලා. එකම බුද්ධ ශාසනයක තවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ නොවන බව ධර්මයේ සඳහන්. එක ශාසනයක් අතුරුදහන් වුණාට පසුවයි සුදුසු කල්හි තවත් සම්මා සම්බුදු රජානන් වහන්සේ නමක් පහළවෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශිත දේශනා ඇසුරෙන්ම අපි ඒ ගැන දනිමු. මේ කල්පයේ පහළවන පස්වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෛත්‍රී සම්බුදු රජාණන් වහන්සේ පහළ වන්නේ මිනිස් ආයුෂ අවුරුදු 80000ක කාලයක බවත්  ඒ ආකාරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් අයුරින්ම දනිමු. පසේ බුදු රජාණන් වහන්සේලා සම්බුදු සසුනක් තුළ පහළ වෙලා අන් අයට ධර්මය දේශනා කිරීමක් ගැන ධර්මයේ සඳහන් නැහැ උන් වහන්සේලා සම්බුදු සසුනකට කළිනුයි පහළවෙන්නේ. රහතන් වහන්සේලා තුළ ඇති ගුණ ධර්ම ගැන බුද්ධ දේශන ඇසුරෙන්ම දැනගන්ට ලැබෙනවා. උන් වහන්සේලා කට වාචාල කමින් වහසි බස් දොඩවන අය නම් නෙමෙයි. නිකෙලෙස් උත්තමයෝ.
අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණ පටලවාගත් විකෘති අර්ථකතන ලබාදුන් වහකවාදීන් ධ්‍යාන වලදී බඩ එළිය යෑමක් හෝ බඩ එළිය ගොස් නාමරූප නිරුද්ධවෙනවා කියමින් අසවල් අවසල් ඵලයට අසවල් දින ගණනින්  දානවා කිව්වොත් ඒක අධර්මයක්මයි.
ඉතින් මේ වගේ මෝහයකින් පෙලෙමින් මානයකින් බැටකමින් ඉන්න සද්ධම්මපතිරූපක පිරිසක් කෙටිමං විවර කරනවා කියා කරන්නේ ධර්මය නොදත් බොහෝ පිරිසක් ව තව තවත් මෝහයට පත්කරමින් මුළා කිරීමක්මයි.
කාලාම වැසියන්ට ඇති වූ ප්‍රෙහේළිකාව බෙල්බර්න් වැසියන්ට ද ඇති නොවුනහොත්, විමසා නොබලා මිත්‍යා දෘෂ්ටීන්ට හසු වී, ලැබුණු මේ උතුම් ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට අකුසල් රැස්කරන් නිරයගාමීවීමටයි සිදුවන්නේ.
ඒ වගේම මේ සද්ධම්මපතිරූපකයන් ලවා පිරිස් මුළාකරවීමට එම සද්ධම්මපතිරූපකයන්ට අනුග්‍රගකර විදේශයන්ට ගෙන්වන පිරිස සිදු කරගන්නේ බරපතළ අකුසලයක්. බොහෝ පිරිසකගේ තිසරණය අහිමි කිරීමට අනුබල දීමක් කැපකිරීමක් ඒ අය සිදුකරනවා. සසරේ බොහෝ කාලයක් සද්ධර්මය අහිමිවීමට පමණක් නොවේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකු දැකීමටවත් මේ අයට නම් අවකාශ ලැබෙයි කියලා කියන්න බෑ. අසද්ධර්මයේ පිරිස් අනුමෝදන් කරවීමේ  අකුසලයෙන් සසරේ බොහෝ දුක් විඳින්නට ඒ අයටම සිදුවේවි.
ඔබට ඇති එකම රැකවරණය තිසරණයමයි. සද්ධම්මපතිරූපකයන් හානි පමුණුවන්නේ ඔබේ තිසරණයටයි. ඔවුන් ඔබව පොළඹවන්නේ ශාස්තෲන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය හා ආර්ය මහා සඟ රුවන සරණ යැවීම වෙනුවට තම පුද්ගලික මතිමතාන්තර සරණ යැවීමටයි.
සද්ධම්මපතිරූපකයන් සද්ධම්මපතිරූපකයන් ලෙසම හඳුනාගෙන ඔවුන්ව බැහැරකරන්නට සද්ධර්මයේ පිළිසරණ ලබන්නට ඔබටද උතුම් තිසරණයේ ආශීර්වාදය ලැබේවා!
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.