අනිත්‍ය නම් දුකයි ද? සැපයි ද ?

//අනිත්‍ය නම් දුකයි ද? සැපයි ද ?

අනිත්‍ය නම් දුකයි ද? සැපයි ද ?

ලෙඩක් සෑදි සුව වූ විට සැපක් දැනේ – එසේ නම් අනිත්‍ය නම් දුකයි ද ? සැපයි ද ?

වර්තමානයේ උතුම් වූ ශ්‍රී බුද්ධ දේශනාව වෙනත් මගකට යොමු කරමින් අනිච්ච හෙවත් අනිත්‍යතාවය ගැන නව ධර්ම දේශනා දසතින් ඇසෙයි. අසංකෙයිය හතරකුත් කල්ප ලක්ෂයකුත් පාරමී පුරා සොයාගත් උතුම් බුදු වදන වෙනස් කිරීම, අලුත් අර්ථකථන, සැපයීම- වරදකි. පාපයකි. වහරක වාදීන් උතුම් බුද්ධ වචනය වෙනස් කරන අයුරු

1. පාලි වචන වලට නව අර්ථ අර්ථකථන ලබා දීමෙන්

2. සිංහල වචනවලට නව අර්ථ අර්ථකථන ලබා දීමෙන්

වහරක වාදීන් දැනටමත් වෙනස් කර ඇති වචන වලට උදාහරණ කිහිපයක්…..

1. අනිච්ච

2. අනාත්ම

බුදු දහමේ තිලකුණ මෙසේ වෙනස් කරයි නම් අනෙකුත් වචන ගැන කවර කතාවක්ද ? අනිච්ච වනාහි අනිත්‍යතාවය නොව තමාට කැමති පරිදි පවත්වා ගැනීමට නොහැකි බව ඔවුන් පවසයි. එයට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක කිහිපයක් මෙම ලිපියෙන් ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙන පැහැදිලි කරමු. ආරම්භයක් ලෙස අප පළමුවෙන් බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් උදාහරණ ගනිමින් මූලාශ්‍ර දක්වමින් අනිච්ච යනු කුමක්ද යන්න විමසා බලමු.

කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “”

මොන විදියට බහුල වශයෙන් වඩන ලද අනිච්ච සංඥාවද හැම රාගයක්ම ගෙවා දමන්නේ ” එයට භාග්‍යවතුන් වහන්සේම පිලිතුරු දෙන්වා මෙය තමයි රූපය – මෙය තමයි රූපයෙ හට ගැනීම . එහෙම නැතිනම් හටගන්න හේතු.. .. මෙ තමයි රූපයේ නැතිවීම නැත්නම් හට නොගැනීම … මෙය තමයි වේදනාව .. මෙය තමයි වේදනාවෙ හට ගැනීම මෙ තමයි වේදනාවෙ නැතිවීම …. මෙය තමයි සංඥාව මෙය තමයි සංඥාවෙ හට ගැනීම – මෙ තමයි සංඥවෙ නැතිවීම .. මෙය තමයි සංස්කාරය මෙය තමයි සංස්කාරයන්ගේ හට ගැනීම . මෙය තමයි සංස්කාරයන්ගේ නැතිවිම . මෙය තමයි විඤ්ඤානය මෙය තමයි විඤ්ඤානයේ හට ගැනීම මෙය තමයි විඤ්ඤානයෙ නැතිවීම …

මෙය කෙටි කර පැවසුවොත් අනිච්ච් සංඥව ලෙස මෙනෙහි කල යුත්තෙ ඇතිවීමත් නැතිවීමත් ය..එය වඩාත් සරල කර සමාජ ගතව ඇත්තේ වෙනස් වීම හෙවත් අනිත්‍ය ලෙසය. ලිපිය දීර්ඝ වන බැවින් ත්‍රිපිටකයෙන් තවත් උදාහරණ ගෙන පැහැදිලි කිරීම මදකට නවතා වහරක වාදීන් නිතර අසන ප්‍රශ්න කිහිපයක් කෙටියෙන් සාකච්ඡා කරමු . වහරක අභයරථනාලංකාර ස්වාමීන් වහන්සේගෙන් බණ අසන ශ්‍රාවකයන් නිතර අහන ප්‍ර්ශනයක් වන්නෙ අසනීපයක් සැදුනු විට අපට දුක දැනේ. බෙහෙත් ගෙන අසනීපය සුව වු විට එනම් ශරීරය වෙනස් වීමට භාජනය වි සුව වූ විට අපට සැපයක් දැනේ. එය එසේ වන්නේ නම් යමක් අනිත්‍ය නම් දුක නොව සැපක් ලැබී ඇත . යමක් අනිත්‍ය නම් එය දුකකි. එය බුද්ධ වචනයයි. නමුත් මෙහිදි යමක් අනිත්‍ය වූ විට එනම් රෝගය සුව වූ විට අපට සැප සහගත වේදනා ඇති වී ඇත. එය එසේ වන්නේ නම් අනිච්ච යන අර්ථය තේරුම් අනිත්‍ය නොව වෙනත් අරුතකි. මෙය වහරකවාදී ගේ අදහසයි . තවත් උදාහරනයක් නම් වැසිකිලියාමට අවශ්‍යව තිබියදි එසේ කිරිමට නොහැකිව බසයක හිරවි සිටින විට අදිකතර දුකක් ඇතිවේ. බසය නවත්වා වැසිකිලියට ගිය විට දුක නැති වි සැපක් දැනේ. මෙහිදි වෙනස් වීම නිසා අනිත්‍ය වීම නිසා සැපක් ඇතිවි ඇත. එනම් යමක් නිත්‍ය නම් එය දුකකි ,යන බුදු වදන් මෙහිදි ක්‍රියාත්මක වි නැති බව මොවුන් කියයි. මෙය සරලව බැලිය හැකි ආකාරයක් පහතින් දැක්වේ……….

අපි දැන් බලමු මේ අවස්ථා දෙකේදීම දුකින් සිට, වෙනස් වීමට භාජනය වී සැපක් ඇතිවි ඇත. ලෙඩ වි අනිත්‍ය බලපෑම නිසා සුව වී සැප සහගත අවස්ථාවක් උදා වි ඇත. එනම් කායික සහ මානසික සැප සහගත වේදනා ඇතිවී ඇත. වේදනාව යනු කුමක්ද ? උතුම් බුදු වදනට අනුව වේදනාව තුන් ආකාරයකි. සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිත ත්‍රිපිටකයට අනුව වේදනාව පංච උපාදානස්කන්ධයෙන් එකකි . දුක් වේදනාවද මධ්‍යස්ථ වේදනාවද සැප වේදනාවද යන සියල්ලම වේදනාවම වේ . වේදනාව අයත් වන්නේ පංච උපාදානස්කන්දයටය. දම්සැක් පැවතුම් සුත්‍රය අනුව පංච උපාදානස්කන්දය වනාහි දුකකි .ඒ අනුව සැප සහගත වේදනාවක් දැනුනණද එය ද දුකට අයත්ය. සැප වේදනාවෙහි දුක්ඛය ප්‍රකට නැති බැවිනි දුක් වේදනා නොදැනේ. අවිද්‍යාව නිසා දුක, සැප වේදනා දැනෙන විට දුක ප්‍රකට නැත. එනමුත් සැප වේදනාව වනාහි උතුම් බුදු වදනට අනුව දුකකි. අප දැන් ඒ උතුම් සම්බුද්ධ දේශනාව බලමු.

සංයුක්ත නිකායේ සළායතන වර්ගයේ වේදනා සංයුක්තයේ දට්ඨබ්බ සූත්‍රය ඇසුරෙන් , එනම් “දැක්ක යුතු ය ගැන වදාළ සූත්‍රයෙහි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ පවසන සේක. “”පින්වත් මහණෙනි සැප වේදනාව දුකක් වශයෙන් දැකිය යුතුයි. දුක් වේදනාව හුලක් වශයෙන් දැකිය යුතුයි ” ඒ අනුව, අසනීපයක් සුව වී සැප සහගත වේදනාවක් දැනුණු විට සහ වැසිකිළියට යාමෙන් පසු සැප සහගත වේදනාවක් දැනුන ද එහි දුක පවතී . එම දුක එම අවස්ථාවේදී අවිද්‍යාව නිසා ප්‍රකට නැත . නමුත් මෙහිදි දැනෙන දුක/ සැප වේදනාව වනාහි දුක්ඛ සත්‍යය ට අදාල එක් කරුණක් පමණි. දුක්ඛ සත්‍යය වන විට දුක් වේදනාව පමණක් නොව සමස්ත දුක්ඛයම සැලකිය යුතුය. වහරකවාදීන් එය අමතක කර ඇත. මෙය පැහැදිලි කර ගත හැකි තවත් ආකාරයක් දැන් සටහන් කරමු . ලෙඩ වී සුවය ලද විට ද නැවත ලෙඩක් හට ගනි යයි පීඩනයක් පවති . බිය‍ක් ඇත. සම්භාවිතාවක් ඇත. මෙය මෙහි ඇති දුකයි. වැසිකිළියට ගිය පසු සුවයක් දැනුනද නැවතත් වැසි වැසිකිළි යාමට සිදුවන බව දන්නා බවින් එය ගැන හිතේ දුකක් ද ඇත. එය මෙහි ඇති දුකයි. එනමුත් එය ප්‍රකට නැත. ජීවිතයේ සෑම විටදීම දුක එකම ආකාරයට දැනෙන්නේ නැත. ඇතැම්විට දුක ප්‍රකටය. ඇතැම් විට ප්‍රකට නැත. දැනෙන ප්‍රමාණය කුමක් වුවද එහි දුක ගැබ්ව ඇත. සැප වේදනාවෙද දුක් ඇත. දුක් වේදනාවේ ද දුක ඇත. ඒ සියල්ලම වේදනා නිසා, උපාදානස්කන්ධයක් නිසා දුක්ඛ සත්‍යයටම අයිතිය. එය උතුම් බුදුවදනට අනුකූලය. ඒ නිසා දුක් සහගත රෝගයකින් සුව වී සැප වේදනාවක් ලැබුණු විට, යමක් අනිත්‍ය නම් එය දුකක් ය යන බුදු වදන සත්‍ය බව සියල්ලෝ දත යුතුය.

අවාසනාවකට මේ සත්‍යය වහරක වාදීන් පිලිගන්නෙ නැත ය. ඉහත විග්‍රහ කර ඇත්තේ උතුම් වු ත්‍රිපිටක ධර්මයට අනුව ය .එබැවින් සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න නුවණැත්තෝ විමසා දැන ගනිත්වා! ඒ අනුව අනිච්ච වනාහි අනිත්‍ය නොව කැමති පරිදි පවත්වා ගත නො හැකි ය යනුවෙන් අදහස් දැක්වීම් වැරදි බව අපගේ මතයයි . මේ විකෘති අදහස් ගෙන හැර දැක්වූ වහරක ස්වාමීන්වහන්සේගේ ද වර්තමානයේ උන් වහන්සේගේ ගෝලයන් වන වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේගේද රතුපස්කැටියේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේගේද ධර්මයි ඔබයි හි නිවාසතාප හිමියන්ගේද අර්ථ දැක්වීම් අතිශය විවාදයට තුඩු දෙන්නකි .ඒ බණ අසන ඇත්තෝ ඉතාමත් විමසිල්ලෙන් සුපරීක්ෂාවෙන් සූත්‍රයේ විනයේ බහා ඇසිය යුතුය . එබැවින් අපට වගකීමක් තිබෙනවා ධර්මය අධර්මය වෙන් කර ගැනීමට. එමෙන්ම සැබෑ දහම කුමක්ද කියා සොයා බැලීම. එබැවින් නුවණැත්තෝ ධර්මය අධර්මයෙන් වෙන් කර ගනිත්වා! තෙරුවන් සරණයි!!!

නමෝ බුද්ධාය!

තේජානු ද සිල්වා

2018-02-11T13:39:04+00:00February 11th, 2018|Categories: ශ්‍රාවක සටහන්|Tags: , |